මස්ක් පරදා ජෙෆ් බෙසොස් යළිත් ලොව අංක එකේ ධනවතා වෙයි

සුප්‍රසිද්ධ ඇමසෝන් සමාගමේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් බෙසොස් යළිත් වරක් ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්ව ඇතැයි ජාත්‍යන්තර ෆෝබ්ස් සඟරාව පවසයි. එම ස්ථානයේ පසුවූ ටෙස්ලා ප්‍රධාන විධායක නිලධාරී සහ ස්පේස් එක්ස්හි නිර්මාතෘ එලොන් මස්ක් පසුකරමින් බොසොස් යළිත් එම ස්ථානයට පත්ව ඇත.

පසුගිය අඟහරුවාදා දිනය වනවිට බෙසොස්ගේ ඇමසෝන් සමාගමේ කොටස් වටිනාකම් 2% කින් ඉහළ යාමත් සමගින්ම ඔහුගේ වත්කම මස්ක්ට වඩා ඩොලර් බිලියන 4කින් ඉහළ යාම මෙලෙස අංක එකේ ධනවතා බවට පත්වීමට අවස්ථාව සලසා දී තිබේ.

ෆෝබ්ස් සඟරාවේ බිලියනපතියන්ගේ ලැයිස්තුව තුළ මෙම කරුණු ඇතුළත්ව තිබේ.

දැනට සති හයකට පමණ පෙරාතුව මස්ක් බෙසොස් පසුකරමින් ලොව අංක එකේ ධනවතා බවට පත්වීමට සමත් විය. පසුගිය වසරේදී ඔහුගේ ටෙස්ලා විදුලි මෝටර් රථ සමාගමේ කොටස් වටිනාකම් අට ගුණයකින් ඉහළ යාම ඊට හේතුව විය. ඒ අනුව එය ලොව වඩාත් වටිනාම මෝටර් රථ නිෂ්පාදකයා බවටද පත්විය.

ෆෝබ්ස් සඟරාවට අනුව මේ සටහන තබන අවස්ථාව (පෙබරවාරි 18) වනවිට බෙසොස් සතු වත්කම එක්සත් ජනපද ඩොලර් බිලියන 192.4 කි. අවසන් පැය 24 තුළදී ඔහුගේ වත්කම ඩොලර් බිලියන 2.1කින් ඉහළ ගොස් ඇති අතර එය 1.11% ප්‍රතිශතයක වර්ධනයකි.

එසේම එලෝන් මස්ක් සතු වත්කම එක්සත් ජනපද ඩොලර් බිලියන 173.7ක් බවට පත්ව තිබේ. අවසන් පැය 24 තුළදී ඔහුගේ වත්කම ඩොලර් මිලියන 378කින් ඉහළ නැග ඇති අතර එය 0.22%ක ප්‍රතිශතයකි.

Visits: 377