LCB ෆිනෑන්ස් මාර්තු මාසයේදී ලැයිස්තුගත වෙනවාලු

මෙරට තුළ බලපත්‍ර ලාභී බැංකු නොවන මූල්‍ය සමාගමක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවෙහි ලියාපදිංචි LCB ෆිනෑන්ස් (ලංකා ක්‍රෙඩිට් ඇන්ඩ් බිස්නස් ෆිනෑන්ස් ලිමිටඩ්) සමාගම ලබන මාර්තු මාසයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කිරිම සඳහා කටයුතු යෙදී ඇතැයි අනාවරණය කරයි.

එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී, විධායක අධ්‍යක්ෂ කේ.ජී. ලීලානන්ද මහතා මෙම කාලවකවානු සම්බන්ධයෙන් සඳහන් කර ඇත. පසුගිය සෙනසුරාදා ගාල්ල ජෙට්වින්ග් ලයිට්හවුස් හෝටලයේදී පැවැත්වුණු එම සමාගම මගින් සංවිධානය කෙරුණු ආයෝජක හමුවේදී ඔහු මේ බව පවසා තිබේ.

“මෙලෙස LCB ෆිනෑන්ස් සමාගමේ කොටස් වෙළෙඳ පොළ තුළ ලැයිස්තුගත වීම හරහා සමාගමේ කොටස්හිමිකරුවන්ට වඩා වැඩි ප්‍රතිලාභ අත්වේවි. මේ ලැයිස්තුගත කිරීමේ කටයුතු ඉදිරියට සිදු කෙරෙමින් පවතින බවට වන පණිවුඩය අපි අවස්ථාවේදී ලබා දෙනවා.” යනුවෙන් ලීලානන්ද මහතා පවසා තිබේ.

මේ අතර කොවිඩ්-19 වසංගත තත්ත්වය නිසා ඇති වූ හානිදායක අවස්ථාවන් මධ්‍යයේ වුවද, දැනට තමන් සතු රුපියල් බිලියන 3.4ක වත්කම් පදනම රුපියල් බිලියන 4 දක්වා ඉහළ නංවා ගැනීමටත් නුදුරේදීම කටයුතු කරන බවත් ඔහු මෙහිදී සඳහන් කර ඇත.

එසේම පසුගිය වසර සඳහා වන සමාගමේ මූල්‍ය වාර්තා අනුව අවසන් මාස 09ක කාලසීමාව සඳහා සමාගම රුපියල් මිලියන 71ක බදු පසු ලාභයක් හිමි කරගැනීමට සමත්ව ඇත. “2021 ජනවාරි 31 වැනිදා වනවිට සමාගමේ සමස්ත ණය කළඹේ වටිනාකම රුපියල් බිලියන 2.3ක්. අවදානම්-භරිත ප්‍රාග්ධන ප්‍රමාණයේ අනුපාතය 35.8%ක් වෙනවා වගේම මූලික ප්‍රාග්ධනය රුපියල් බිලියන 1.8ක්.” යනුවෙන්ද ලීලානන්ද මහතා මෙහිදී වැඩිදුරටත් පවසා තිබේ.

2016 වසරේ මැයි 16 වැනිදා ගාල්ලේදී පිහිටවුණු LCB ෆිනෑන්ස් සමාගම 2007සමාගම් පනත යටතේ ලියාපදිංචි සමාගමක් බවද කියයි. එසේම එය ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අංශයෙහි අනුමැතියද හිමි සමාගමකි. 2018 වසරේදී එම සමාගම මගින් City Finance සමාගම අත්පත් කරගැනීමත් සමගින්ම තවදුරටත් පුළුල් විය. අද වනවිට ශාඛා 6ක් හිමි LCB ෆිනෑන්ස් සමාගම සතු පාරිභෝගිකයන් සංඛ්‍යාව 30,000ක් පමණ වන බවත් සඳහන් වෙයි.

සමාගමේ ප්‍රධාන කොටස් හිමිකාරීත්වය ලංකා ක්‍රෙඩිට් ඇන්ඩ් බිස්නස් ලිමිටඩ් සමාගම වෙත හිමිව ඇත. එය 87%ක ප්‍රතිශතයකි.

මෙම ආයෝජක හමුව සඳහා මුදල්, ප්‍රාග්ධන වෙළෙඳ පොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, වැවිලි කටයුතු අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, පොහොර සහ රසායනික පොහොර නිෂ්පාදන සහ සැපයුම් රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන, ගාල්ල මහ නගරසභාවේ නගරාධිපති ප්‍රියන්ත සහබන්දු සහ එන්ඩීබී ඉන්වෙස්ට්මන්ට්ස් බැංකුවේ සාංගමික උපදේශක ප්‍රධානී නිලේන්ද්‍ර වීරසිංහ යන මහත්වරුන් මෙම අවස්ථාවට සහභාගි වන බවත් පැවසෙයි.

Visits: 586