ලැයිස්තුගත සමාගම් 4ක කොටස් ගණුදෙනු 25 දා සිට අත්හිටුවීමට යයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගම්  හතරක් වන සිලෝන් ප්‍රින්ටර්ස් පීඑල්සී (CPRT), ඔෆීස් ඉක්විප්මන්ට් පීඑල්සී (OFEQ), පැරගොන් සිලෝන් පීඑල්සී (PARA) සහ බ්ලූ ඩයමන්ඩ් ජුවලරි වර්ල්ඩ්වයිඩ් පීඑල්සී (BLUE) යන සමාගම්හි කොටස් ගනුදෙනු 2021 පෙබරවාරි 25 වැනිදා සිට අත්හිටුවීමට තීරණය කළ බව කොළඹ කොටස් හුවමාරුව සඳහන් කරයි.

කොළඹ කොටස් හුවමාරුවෙහි සමාගම් ලැයිස්තුගත කිරිම පිළිබඳ රීතීන්හි 7.4 රීතිය යටතේ මෙම මෙම තීරණය ගෙන තිබේ.

2020 ජුනි 30 වැනිදායින් අවසන් වූ කාර්තුව සඳහා එම සමාගම් වෙතින් සිය මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කර නොතිබීම මෙලෙස එම සමාගම්වල කොටස් ගනුදෙනු අත්හිටුවීමට හේතුව බව සඳහන් වෙයි. යම් හෙයකින් ලබන පෙබරවාරි 24 වැනිදාට පෙර එම සමාගම් අදාළ ප්‍රකාශන ඉදිරිපත් කිරීමට සමත් වුවහොත් එම අත්හිටුවීම සිදු නොවන බවත් කොළඹ කොටස් හුවමාරුව සඳහන් කරයි.

මීට පෙර 2020 වසරේ දෙසැම්බර් 23 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදිද සිලෝන් ප්‍රින්ටර්ස්, ඔෆිස් ඉක්විප්මන්ට් සහ පැරගොන් සිලෝන් යන සමාගම්වල කොටස් ගනුදෙනු මෙලෙසින්ම අත්හිටුවීමක් සිදුවිය. ඊට හේතුව වූයේද ඉහත සඳහන් කළ කරුණමයි. එතෙක් එම සමාගම් Watch List ලැයිස්තුවට ඇතුළත් කෙරී තිබුණි.

කෙසේ වෙතත් පසුගිය ජනවාරි 27 වැනිදා සිට එම සමාගම්වල ගනුදෙනු යළිත් ආරම්භ කිරීමේ අවස්ථාව ලබා දීමට කොළඹ කොටස් හුවමාරුව පියවර ගෙන තිබුණි.

බ්ලූ ඩයමන්ඩ් ජුවලරීස් වර්ල්ඩ්වයිඩ් පීඑල්සී සමාගමටද මීට පෙර 2019 වසරේදීද මෙවැනි අත්හිටුවීමක් පනවා තිබී ඇත. අනතුරුව එම සමාගමද Watch List ලැයිස්තුවට ඇතුළත් කර තිබුණි.

Visits: 1352