සෙරෙන්ඩිබ් හොටෙල් පීඑල්සී හි හෝටල්වල සභාපතිවරයා ඉවත් වෙයි

LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ බ්‍රවුන්ස් හොටෙල්ස් පීඑල්සී සමාගමට අයත් ඊඩ්න් හොටෙල්ස් පීඑල්සී සමාගම මගින් මිලදී ගත් සෙරෙන්ඩිබ් හොටෙල් පීඑල්සී සමාගමට අයත් හෝටල් තුනෙහි සභාපතිවරයා ලෙස කටයුතු කළ අබුසාලි නුරුදීන් එසුෆුලි එම ධුරයෙන් ඉවත්ව ඇතැයි එම සමාගම පවසයි.

ඒ අනුව සෙරෙන්ඩිබ් හොටෙල් පීඑල්සී, හොටෙල් සීගිරිය පීඑල්සී සහ ඩොල්ෆින් හොටෙල්ස් පීඑල්සී සමාගමේ සභාපති ධුරවලින් එසුෆුලි මහතා මෙලෙස ඉල්ලා අස්වී තිබේ. 2021 පෙබවාරි 11 වැනිදා මෙම ඉවත්වීම සිදුව තිබේ.

මේ අතරින් හෝටෙල් සීගිරිය පීඑල්සී සමාගම තුළ එසුෆුලි මහතා සතුව කිසිදු කොටස් හිමිකාරීත්වයක් නොමැති බවත්, සෙරෙන්ඩිබ් හොටෙල් පීඑල්සී සහ ඩොල්ෆින් හොටෙල්ස් පීඑල්සී යන සමාගම් තුළ පිළිවෙලින් කොටස් 16,565ක සහ 450,007 ක හිමිකාරීත්වයක් ඒ මහතා සතුව ඇති බවත් එම සමාගම් මෙහිදී අනාවරණය කර සිටියි.

පසුගිය දෙසැම්බර් මාසයේ 15 වැනිදා ඊඩ්න් හොටෙල්ස් පීඑල්සී සමාගම මගින් සෙරෙන්ඩිබ් හොටෙල් පීඑල්සී සමාගම අත්පත් කරගැනීම සිදු විය. එහිදී රුපියල් මිලියන 791කට මෙම ගනුදෙනුව සිදු වූ බව පැවසෙයි.

හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම පවසන ආකාරයට මෙහිදී සෙරෙන්ඩිබ් හෝටලයෙහි සිය සමාගම සතු වූ සාමාන්‍ය ඡන්ද  හිමි කොටස් 42,802,738ක් එනම් 56.68%ක ප්‍රතිශතයක් මෙලෙස අලෙවි කර ඇත. එහිදී එක් කොටසක් රුපියල් 14.20 බැගින් අලෙවි වී ඇති අතර, ගනුදෙනුවේ සමස්ත වටිනාකම රුපියල් 607,987,329 කි.

එසේම සමාගම සතුව තිබූ සාමාන්‍ය නිෂ්ඡන්ද කොටස් 19,258,477ක් එනම් 53.48%ක ප්‍රතිශතයක් කොටසක් රුපියල් 9.60 බැගින් රුපියල් මිලියන 185ක (184,881,379ක) මුදලකටද අලෙවි කර ඇත.

ඒ අනුව මෙම සමස්ත කොටස් ප්‍රමාණයද LOLC සමූහය යටතේ පවතින බ්‍රවුන්ස් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් සමාගමේ ඊඩ්න් හොටෙල්ස් පීඑල්සී සමාගමේ ඊඩ්න් රිසෝට් ඇන්ඩ් ස්පා විසින් මිලදී ගෙන ඇති අතර සමස්ත මිලදී ගැනීමේ වටිනාකම රුපියල් මිලියන 791ක් (791,723,136ක්) ලෙස සටහන් වෙයි.

Visits: 272