දින ගණනකට පසුව දර්ශක අගයන් කොළ පැහැයට හැරේ

ගෙවුණු දින කිහිපයේදී අත් වූ අලාභයන් මඟහරමින් අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු වඩාත් සාර්ථකව හා ශක්තිමක්ව සිදු වුණු බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී විශේෂයෙන්ම අඩුමිල කොටස් මිලදී ගැනීමේ නිරත වූ ආයෝජකයන් සහ වටිනා සමාගම් මගින් ප්‍රකාශයට පත් කළ කාර්තුමය ඉපැයීම් නිසා ආයෝජකයන් තුළ ඇති වූ ධනාත්මක බව මේ තත්ත්වය උදා කරවීමට හේතුවී තිබේ.

එසේම කොළඹ කොටස් හුවමාරුව සහ එහි කොටස් තැරැව්කාර සමාගම් අතර පැවති මතභේදය සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර පැවැති ධනවාදී කතාබහද මේ තත්ත්වය ඇති වීමට හේතු වූ බවද වෙළෙඳ පොළ ආරංචි මාර්ග පවසයි.   

ඒ අනුව අද දිනයේදී ඒකක 7,710.63ත් ඒකක 7,995.62 ත් අතර අගයක විචලනයක් පෙන්වූ සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 7,985.00 ක් බවට පත්විය. එය ඊයේ (පෙබරවාරි 11) දිනයට සාපේක්ෂව ඒකක 387.19 ක් එනම් 5.10%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

අද දිනයේදී පෙර සිදු කළ සාකච්ඡාවකට අනුව සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී සහ හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී යන සමාගම් අතර සිදු වූ ගනුදෙනුව සමස්ත පිරිවැටුමෙන් 11%ක් සඳහා දායකත්වය ලබා දී ඇත.  

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 185ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 26ක මිල ගණන් පහළ ගොස් තිබේ.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (+36.14), වැලිබල් වන් පීඑල්සී VONE (+34.05), එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+20.57), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (+19.72), මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී MELS (+17.86), ලංකා රියැලිටි ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී ASCO (-2.51), ලයන් බෘවරි සිලෝන් පීඑල්සී LION (-1.92), සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී CCS (-0.82), ජෝන් කීල්ස් පීඑල්සී JKL (-0.57), සීටී හෝල්ඩිංග්ස් පීඑල්සී CTHR (-0.46) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,180.24 ක අගයක් ගත් අතර, එය ඊයේ (පෙබරවාරි 11) දිනයට සාපේක්ෂව ඒකක 140.96 ක එනම් 4.64%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 5.17ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (පෙබරවාරි 11දා) වාර්තා කළ රුපියල් බිලියන 4.38ට සාපේක්ෂව 18% ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.49ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 17.92%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 60.72ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 750.87ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායෑම්හි වටිනාකම රුපියල් මිලියන 690.15කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 11.3ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 12.95කි. එසේම සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 507.84ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 1,952ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 38% ක අගයක් ගෙන තිබේ. ආහාර, පාන වර්ග සහ දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන සහ විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් අංශය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 1,175ක සහ රුපියල් මිලියන 636 ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 186