වෙළෙඳ පොළ කඩා වැටීමත් සමග වටිනාකම් පහළ ගිය කොටස් මිලදී ගැනීමේ උනන්දුව ඉහළට

අද (පෙබරවාරි 11) දිනයේදී  කොළඹ කොටස් හුවමාරුව තුළ අවස්ථා දෙකදීම ගනුදෙනු අත්හිටුවීමට සිදු විය. ඒ අනුව පෙබරවාරි මාසය ආරම්භවීමෙන් අනතුරුව S&PSL20 දර්ශකය -7.5% පසු කිරීම නිසා දෙවතාවක්ම ගනුදෙනු අත්හිට වූ දෙවැනි දිනය බවටත් අද පත් විය. මෙහිදී දිනය තුළදී එම දර්ශකය -8.40%ක් දක්වා පසුබැසීමක් සිදු විය. මේ සඳහා මූලිකවම කලබලකාරී කොටස් අලෙවිය හේතු වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. කෙසේ වෙතත් උද්ගත වූ තත්ත්වයත් සමග මිල අඩු වූ කොටස් මිලදී ගැනීමේ උනන්දුව ඉහළ යාමත් සමගින්ම එම තත්ත්වය සමනයකට පත්විය.    

ඒ අනුව අද දිනයේදී ඒකක 7,201.55ත් ඒකක 7,777.70 ත් අතර අගයක විචලනයක් පෙන්වූ සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 7,597.81 ක් බවට පත්විය. එය ඊයේ (පෙබරවාරි 10) දිනයට සාපේක්ෂව ඒකක 134.62 ක් එනම් -1.74%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදු කළ සාකච්ඡාවකට අනුව අද දිනයේදී කිසිදු ගනුදෙනුවක් සිදුව නැත.

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 49ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 161ක මිල ගණන් පහළ ගොස් තිබේ.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ බුකිට් ඩරාහ් පීඑල්සී BUKI (+3.73), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BRWN (+3.16), මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී MELS (+2.93), ලංකා රියැලිටි ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී ASCO (+2.61), සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී SINS (+2.06), වැලිබල්වන් පීඑල්සී VONE (-11.68), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (-11.14), එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-8.94), කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී CARS (-8.65), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (-8.3) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,039.28 ක අගයක් ගත් අතර, එය ඊයේ (පෙබරවාරි 10) දිනයට සාපේක්ෂව ඒකක 48.42 ක එනම් -1.57%ක පහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 4.38ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (පෙබරවාරි 10දා) වාර්තා කළ රුපියල් බිලියන 5.12 ට සාපේක්ෂව 14% ක පහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම ගැනුම්කරුවන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.32ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 12.20%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 152.81ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 122.71ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායෑම්හි වටිනාකම රුපියල් මිලියන 31.1කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 10.61ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය සීටීහෝල්ඩිංග්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 50.02කි. එසේම ටෝකියෝ සිමෙන්ට් කම්පැනි (ලංකා) පීඑල්සී (ඡන්ද හිමි) විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 20.05ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 1,301ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 30% ක අගයක් ගෙන තිබේ. ආහාර, පානවර්ග සහ දුම්කොළ අංශය සහ ප්‍රවාහන අංශය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 822ක සහ රුපියල් මිලියන 564 ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 489