HAYC මිල ඉහළ ගියත් දර්ශක අගයන් පහළ වැටෙයි

අද (පෙබරවාරි 08) දිනයේ ගනුදෙනු ආරම්භයේදී කොටස් හුවමාරුව තුළ යම් ධනාත්මක ස්වරූපයක් පෙන්නුම් කළත් විශාල ප්‍රාග්ධනීකරණයක් සහිත සමාගම් තුළ පැවැති වාෂ්පශීලතාව සහ ටයිල් සමාගම් කොටස් වටිනාකම් පිළිබඳ වන බලාපොරොත්තු පහත වැටීමත් යනාදී කාරණා හේතුවෙන් එය ඍණ තත්ත්වයට පත් වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි.

කෙසේ වෙතත් හේලීස් සමූහයට අයත් සමාගම් කොටස් වටිනාකම් තවදුරටත් ධනාත්මකව පැවතීමක් දිනය පුරා දැකගත හැකි වූ බවත් එම සමාගම් පවසයි. එහිදී හේකාර්බ් පීඑල්සී කොටස් මිල ගණන් දිනය තුළදී 25%ක ඉහළයාමක් පෙන්නුම් කර තිබේ. මේ අතර රටෙහි ආර්ථික සමෘද්ධිය පිළිබඳ ආයෝජකයන් තුළ පවතින කණස්සලුසහගත තත්ත්වය හේතුවෙන් දිනය තුළදී පෙන්නුම් කළ කලබලකාරී කොටස් අලෙවිය මෙන්ම ලාභ ඉපැයීම් නිසා දර්ශක අගයන් පෙර දිනයට සාපේක්ෂව තවදුරටත් පහළ වැටීම සිදු විය.

ඒ අනුව අද දිනයේදී ඒකක 8,113.26ත් ඒකක 8,354.26 ත් අතර අගයක විචලනයක් පෙන්වූ සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 8,113.26 ක් බවට පත්විය. එය පසුගිය සිකුරාදා (පෙබරවාරි 05) දිනයට සාපේක්ෂව ඒකක 162.11 ක් එනම් -1.96%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදුකළ සාකච්ඡාවකට අනුව සිදු වූ කිසිදු ගනුදෙනුවක් අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙන් වාර්තා වී නැත.

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 51ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 154ක මිල ගණන් පහළ ගොස් තිබේ.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ හේකාර්බ් පීඑල්සී HAYC (+21.85), ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී DIPD (+3.7), සිලෝන් ග්‍රේන් එලවේටර්ස් පීඑල්සී GRAN (+1.82), සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී CCS (+1.03), ඩිල්මා සිලෝන් ටී කම්පැනි පීඑල්සී CTEA (+1.01), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (-32.07), වැලිබල් වන් පීඑල්සී VONE (-11.32), එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී LOFC (-8.41), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (-7.29), රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී RCL (-7.03) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,227.66 ක අගයක් ගත් අතර, එය පසුගිය සිකුරාදා (පෙබරවාරි 05) දිනයට සාපේක්ෂව ඒකක 76.64 ක එනම් -2.32%ක පහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 4.79ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පසුගිය සිකුරාදා (පෙබරවාරි 05දා) වාර්තා කළ රුපියල් බිලියන 5.16ට සාපේක්ෂව 7% ක පහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.55ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 19.80%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 139.34ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 444ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායෑම්හි වටිනාකම රුපියල් මිලියන 304.66කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 10.3ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 3.15කි. එසේම හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 115.44ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 1,256ක් සඳහා නිෂ්පාදන අමුද්‍රව්‍ය අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 26% ක අගයක් ගෙන තිබේ. ප්‍රාග්ධන භාණ්ඩ සහ බැංකු අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 1,179ක සහ රුපියල් මිලියන 706 ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 339