ආයෝජන මණ්ඩලය, CSE සහ ලංකා වාණිජ මණ්ඩලය එකතුවෙන් ප්‍රථම වරට ආයෝජක සංසදයක්

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI), කොළඹ කොටස් හුවමාරුව (CSE) සහ ලංකා වාණිජ මණ්ඩලය (CCC) එක්ව, ශ්‍රී ලංකාවේ ආයෝජනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ප්‍රථම වරට අන්තර්ජාලය හරහා පැවැත්වෙන ආයෝජන සංසදයක් (virtual investment forum) සංවිධාන කිරීමට සූදානම් වේ. මෙම සංසදය 2021 අප්‍රේල් 6, 7 සහ 8 යන දිනයන්හි දී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ඉහළ වටිනාකමක් ඇති තනි ආයෝජකයින් මෙන්ම ආයතනික ආයෝජකයින් ද ඇතුළුව ලොව පුරා සිටින ආයෝජකයන් රැසක් මෙම අවස්ථාවට සහභාගී කරගත හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම සංසදයේදී ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික තත්වය පිළිබඳව සාකච්ඡා කෙරෙන අතර සෘජු ආයෝජන සඳහා අවස්ථාව පවතින සියලුම ප්‍රධාන ව්‍යාපෘතීන් සහ ව්‍යාපාරයන් පිළිබඳව වන විස්තර ද මෙහිදී ඉස්මතු කරනු ඇත. එමෙන්ම කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සමාගම් සඳහා පවතින ආයෝජන අවස්ථාවන් පිළිබඳවද මෙහිදී ආවරණය කෙරෙනු ඇත.
මෙම අන්තර්ජාල ආයෝජන සංසදය ලොව පුරා විවිධ කාල කලාපයන් හි සිටින ආයෝජකයින්ගේ පහසුව සැලකිල්ලට ගනිමින් සංවිධාන කෙරෙනු ඇති අතර ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා සාමූහිකව අවස්ථාව සළසා දීමට අපේක්ෂා කරන ප්‍රතිපත්ති සම්පාදකයින් සහ ව්‍යාපාරික නායකයින් ඇතුළු කථිකයින්, ඉදිරිපත් කරන්නන් සහ සාකච්ඡාවය සහභාගී වන්නන්ගෙන් සමන්විත වූ විශිෂ්ට පෙළගැස්මක් එයට ඇතුළත් වේ. ප්‍රධාන ව්‍යාපෘති හිමිකරුවන් සහ ප්‍රමුඛ ලැයිස්තුගත සමාගම් සමඟ අන්තර්ජාලය හරහා මුහුණට මුහුණ සම්බන්ධ වීම සඳහා ද ආයෝජකයින්ට පහසුකම් සැලසෙනු ඇත.

ශ්‍රී ලංකාවේ පශ්චාත් COVID ආර්ථික පුනර්ජීවනයට අත්‍යවශ්‍ය වන විදේශ විනිමය ආකර්ෂණය කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය දරන උත්සාහයට සහාය වීම සඳහා මෙම සංසදය හරහා ආයෝජන මණ්ඩලය, කොළඹ කොටස් හුවමාරුව සහ වාණිජ මණ්ඩලය එකට එක්ව කටයුතු කරයි.

ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල, කොළඹ කොටස් හුවමාරුවේ සභාපති දුමිත් ප්‍රනාන්දු සහ ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ආචාර්ය හාන්ස් විජයසූරිය යන මහත්වරුන් විසින් මෙම සංසදය සංවිධාන කරනු ලබන අතර, ආයතන තුනේ සාමාජිකයින්ගෙන් සමන්විත සංවිධායක කමිටුවට ඔවුන් විසින් නායකත්වය හා මග පෙන්වීම ලබා දෙනු ඇත.
ආයෝජන මණ්ඩලයේ සහ වාණිජ මණ්ඩලයේ සාමාජිකයින්, ව්‍යාපෘති ප්‍රවර්ධකයන්, කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සමාගම්, කොටස් තැරැව්කාර සමාගම්, වාණිජ බැංකු සහ වෙනත් හවුල්කරුවන් ඇතුළු ශ්‍රී ලංකාවේ සෘජු ආයෝජන සහ ප්‍රාග්ධන වෙළඳපොළ අවකාශය තුළ විසිරී සිටින පුළුල් පාර්ශ්වකරුවන් පිරිසකගේ සහයෝගය ලබා ගැනීමට මෙහිදී අපේක්ෂා කෙරේ.

මෙම සංසදය සංවිධානය කිරීම පිළිබඳව අදහස් දක්වමින්, ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතා මෙසේ පැවසීය. “ශ්‍රී ලංකා ආර්ථික නියාමනයේ ප්‍රමුඛ දායකත්වයක් දරන රාජ්‍ය අංශය, ප්‍රාග්ධන වෙළඳපල සහ පුද්ගලික අංශය නියෝජනය කරමින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, කොටස් වෙළඳපල සහ වාණිජ මණ්ඩලය ප්‍රධාන පාර්ශවකරුවන් ලෙස මෙසේ එක්ව කටයුතු කිරීම ඓතිහාසික අවස්ථාවකි. එමගින් ශ්‍රී ලංකාව වඩාත් ආකර්ශණීය ආයෝජන මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට හැකිවනු ඇත. ගෝලීය වසංගතය නිසා ඇතිවූ අභියෝගයන් හමුවේ වුවද, පසුගිය වසර තුල බොහෝ ප්‍රතිපත්තිමය වෙනස්කම් සිදුකරමින් අප විසින් නිර්මාණය කර ඇති ශක්තිමත් ආයෝජන පදනම සහ එමගින් ශ්‍රී ලංකාවේ වර්ධනාත්මක දශකයට මඟ පෙන්වන ආයෝජන පරිසරය පිළිබඳව ගෝලීය ආයෝජන ප්‍රජාව දැනුවත් කිරීමට මෙම සංසදය කදිම වේදිකාවක් වනු ඇත.”

කොළඹ කොටස් හුවමාරුවේ සභාපති දුමිත් ප්‍රනාන්දු මහතා, ශ්‍රී ලංකාවෙහි ආයෝජන අවස්ථාවන් සාමූහිකව ප්‍රවර්ධනය කිරීම සඳහා ආයෝජන මණ්ඩලය සහ වාණිජ මණ්ඩලය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරන බවයි. එමෙන්ම පවතින වාතාවරණය හමුවේ රටෙහි උන්නතිය උදෙසා වඩාත්ම බලපෑමක් එල්ල කළ හැකි කාර්යභාරයක් සිදු කිරීමට පවතින හොඳම ප්‍රවේශය නම් මෙම ආයතන සමඟ අත්වැල් බැඳ ගැනීම බවත් ඒ සඳහා කටයුතු කිරීම වැදගත් වන බවත් ඒ මහතා විසින් අවධාරණය කරන ලදී. රටෙහි සාර්ව ආර්ථික ප්‍රතිපත්ති දිශානතිය අවබෝධ කර ගැනීම සඳහා ආයෝජකයින් උනන්දු වනු ඇති අතර මෙම සංසදයේ ආකෘතිය විදේශීය ආයෝජකයින්ට ශ්‍රී ලංකාවේ වර්ධන ගමන්මග සහ ආයෝජන වාතාවරණය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා දෙන බැවින් එමඟින් සෘජු ආයෝජන අවස්ථාවන්ද සැළසෙනු ඇති බව ඒ මහතා ප්‍රකාශ කර සිටියේය. කොළඹ කොටස් හුවමාරුව වසර ගණනාවක් තිස්සේ බොහෝ ආයෝජන සංසද හරහා සෘජුවම විදේශ ආයෝජකයින් සම්බන්ධ කර ගත් අතර මෙවැනි පුළුල් ජාතික ආයෝජන අවස්ථාවක් තුළින් කොළඹ කොටස් හුවමාරුවේ ආයෝජකයින් හට වඩාත් පරිපූර්ණ වූ අදහසක් ලබා දෙනු ඇතැයි ඔහු සඳහන් කළේය.

ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා සඳහන් කළේ, “මෑතදී ප්‍රකාශයට පත් කරන ලද ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වේගවත් කිරීමේ රාමු‌ව (SEAF) හි සඳහන් පරිදි, ශ්‍රී ලංකා ආර්ථිකයේ 6-7% වර්ධන වේගයක් සහිතව 2026 වර්ෂය වන විට ඇ.ඩො. බිලියන 127.5 ක දළ දේශීය නිෂ්පාදිතයක් ළඟා කර ගැනීමට වාණිජ මණ්ඩලය අපේක්ෂා කරයි. මෙම අභිලාශය සාක්ෂාත් කර ගැනීම සඳහා සෘජු විදේශ විනිමය ලෙස මෙන්ම කොටස්වෙළඳපළ හා අනෙකුත් මූල්‍ය වෙලඳපලවල් වලට ආයෝජන ලෙස ගලා එන විදේශීය ආයෝජන අත්‍යාවශ්‍ය වේ. ඒ හා සමානව, අපනයන, දේශීය නිෂ්පාදනය සහ තරඟකාරිත්වය ඉහළ නැංවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයන් හි සමාන්තර මුලපිරීම් සමඟ සමගාමීව විදේශ ආයෝජන ගැලීම් වර්ධනය කිරීම ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික දර්ශක ශක්තිමත් කිරීම සඳහා පදනම ගොඩනගනු ඇත. ජාතියේ පශ්චාත් කොවිඩ් පුනර්ජීවනයේ පසුබිම මත ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා ලොවට ඉදිරිපත් කිරීම සඳහා මෙම අපේක්ෂා සහගත වැඩසටහන දියත් කිරීමට ආයෝජන මණ්ඩලය සහ කොළඹ කොටස් හුවමාරුව සමඟ අත්වැල් බැඳගැනීමට ලැබීම වාණිජ මණ්ඩලය ලැබූ වරප්‍රසාදයකි.” යනුවෙනි.

Visits: 458