ගෝලීය ආහාර මිල 2014ට පසුව ඉහළම අගයට

පසුගිය ජනවාරි මාසය වන විට ගෝලීය ආහාර මිල වසර හයකට පසුව වාර්තා කළ ඉහළම අගයට පත්වූ බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර සහ කෘෂිකාර්මික සංවිධානය සිය වාර්තාවක් මගින් පවසයි. ඒ අනුව එම සංවිධානය මගින් රැස් කරගත් දත්ත අනුව පසුගිය ජනවාරි මාසයේ දත්ත අනුවද ගෝලීය ආහාර මිල ඉහළ ගොස් ඇති අතර, එය පිට පිට අටවැනි මාසයටත් ආහාර මිල ගණන් ඉහළ යාමක් ලෙස සඳහන් වෙයි.

එම සංවිධානය පෙන්වා දෙන ආකාරයට ජනවාරි මාසයේදී ගෝලීය ආහාර දර්ශකය පසුගිය 2020 වසරේ දෙසැම්බර් මාසයට සාපේක්ෂව 4.3%ක ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව මෙය 2014 වසරේ ජූලි මාසයෙන් පසුව ගෝලීය ආහාර මිලෙහි වාර්තා වූ ඉහළම අගයද වෙයි.

මෙම දර්ශකය හරහා ලොව ප්‍රධානවම පරිභෝජනයට ගන්නා ආහාර වර්ග සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර මිල ගණන්වල මාසික වෙනස් වීම් පිළිබඳව දත්ත රැස්කරයි.

මෙහිදී ගෝලීය වෙළෙඳ පොළෙහි බඩ ඉරිගු මිල ගණන් 2020 දෙසැම්බර් මාසයට සාපේක්ෂව 11.2%ක ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇති අතර 2020 ජනවාරි මාසයට සාපේක්ෂව 42.3%කින් ඉහළ ගොස් ඇත. ගෝලීය තිරිගුපිටි මිල ගණන්ද ජනවාරියේදී 6.8%ක ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබේ.

ජනවාරි මාසයේදී ගෝලීය එළවලු තෙල් මිලද 5.8%ක ප්‍රතිශතයක ඉහළ ගොස් ඇත. එය 2020 මැයි මාසයෙන් පසුව වාර්තා වී ඇති ඉහළම ගෝලීය එළවලු තෙල් මිලද වෙයි. සීනි මිලද දෙසැම්බර් මාසයට සාපේක්ෂව 8.1%ක ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇත. කිරි මිල ගණන්ද දෙසැම්බර් මාසයට සාපේක්ෂව 1.6%ක ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබේ. එසේම මාංශ මිල ගණන්ද දෙසැම්බර් මාසයට සාපේක්ෂව 1.0%ක ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබෙන බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර සහ කෘෂිකාර්මික සංවිධානය වැඩිදුරටත් පවසයි.

විශේෂයෙන්ම ගෝලීයව ව්‍යාප්ත වුණු නව කොරෝනා වසංගතය හේතුවෙන් කෘෂිකාර්මික නිෂ්පාදන කටයුතුවල සිදු වුණු කඩාවැටීම හරහා සිදුව ඇති සැපයුමේ අඩුපාඩු මෙලෙස ආහාරවල මිල ගණන් ඉහළ යාමට හේතුව වී තිබේ. එසේම දේශගුණික විපර්යාස නිසා උද්ගතව පවතින අයහපත් තත්ත්වයද මෙම වගාවන්හි ඵලදා වෙත බලපා ඇත.

Visits: 27