සෙලින්කෝ ලයිෆ් SLIM ‘වසරේ ආයතනික සමාජ වගකීම් සන්නාමය’ ලෙස රිදී සම්මානය දිනයි

ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය පැවැත්වූ 2020 සන්නාම විශිෂ්ටතා සම්මාන ප‍්‍රදානෝත්සවයේදී සෙලින්කෝ ලයිෆ් විසින් අඛණ්ඩවම සිදුකරන සමාජ සත්කාරක යුතුකම ඇගයීමට ලක්කරමින් ‘වසරේ ආයතනික සමාජ වගකීම් සන්නාමය’ යන අංශය යටතේ රිදී සම්මානය හිමි කරගත් බව පවසයි.

සමාගම විසින් 2019 වසරේදී සම්පූර්ණ කරන ලද ආයතනික සමාජ වගකීම් වැඩසටහන් සඳහා මෙම සම්මානය ප‍්‍රදානය කර තිබේ. පන්ති කාමර 07 ක් ඉදිකිරීම, ‘වෛද්‍ය හමුව’ නැමති නොමිල සෞඛ්‍ය කඳවුරු 12 ක් පැවැත්වීම, සමාගම විසින් ලබාදුන් පස්වන දැඩි සත්කාර ඒකකය (HDU) මහනුවර ශික්ෂණ රෝහලට පරිත්‍යාග කිරීම, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2030 වසර වෙනුවෙන් සකස්කර තිබෙන තිරසර සංවර්ධන ඉලක්ක (SDGs) වලට අනුගත වෙමින් සමාගම විසින් පරිත්‍යාග කර තිබෙන රෝහල් දැඩි සත්කාර ඒකක නඩත්තු කිරීම යන කරුණු මෙම සම්මානය ලබාදීම සඳහා සැලකිල්ලට ගෙන ඇත.

මෙම සම්මානය පිළිබඳව සෙලින්කෝ ලයිෆ් සමාගමේ සාමාන්‍යාධිකාරී – අලෙවිකරණ, සමිත හේමචන්ද්‍ර මහතා ‘අපගේ සමාජ වගකීම් වැඩසටහන් නිර්මාණය වන්නේ සත්‍ය වශයෙන්ම ජනතාව මුහුණ දෙන අභියෝග සහ ගැටලූ නිරාකරණය කිරීමේ අභිලාෂයෙන් මිස සන්නාමය ගොඩනැගීමේ උපාය මාර්ගයක් ලෙස නොවේ. එනමුත් ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය විසින් සිදුකළ ස්වාධීන තක්සේරුවක් මගින් අපට ලබාදුන් මෙම සම්මානය අප අගය කරන අතර ඒ තුළින් යහපත් සමාජ පුරවැසියෙකු ලෙස තවත් අවස්ථාවන් සොයා බලමින් අඛණ්ඩවම මෙම සත්කාරක වැඩසටහන් කිරීමට සමාගමේ සමස්ත කණ්ඩායමටම දිරියක් ලබාදෙනවා.’ යනුවෙන් අදහස් දක්වයි.

‘වසරේ ආයතනික සමාජ වගකීම් සන්නාමය’ ලබාදීමේ ඇගයීම් ක‍්‍රමවේදයේදී ආයතනික සන්නාමය සහ ආයතනික සමාජ වගකීම් සන්නාමයේ බලාපොරොත්තුව සහ අරමුණ අතර තිබෙන සබඳතාවය, සමාගමේ ආයතනික සමාජ වගකීමට අදාළව සන්නාමයේ දැක්ම සහ අරමුණු අතර සබඳතාවය, ආයතනික සමාජ වගකීම් වැඩසටහන් සහ සන්නාමයේ අරමුණ අතර තිබෙන උපායමාර්ගික සබඳතාවය, වැඩසටහන්වල බලපෑම සහ පාර්ශවකරුවන්ට එම වැඩසටහන සන්නිවේදනය කරන ආකාරය, වැඩසටහන් සමග කාර්යමණ්ඩලයේ එකතුවීම සහ අභ්‍යන්තර අලෙවිකරණ ක‍්‍රියාකාරකම් විශ්ලේෂණය කරනු ලබයි.

Visits: 14