Expolanka Freight ඉන්දියාව තුළ COVID-19 එන්නත් ප්‍රවාහනය සඳහා එකඟතාවකට

එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ භාණ්ඩ ප්‍රවාහන හස්තය වන Expolanka Freight (efl) ඖෂධ ප්‍රවාහනය සම්බන්ධයෙන් ඉන්දියාවේ SpiceJet ගුවන් සමාගම සහ දකුණු අප්‍රිකාවේ ශීතාගාර දාමයක් වන Tower Cold Chain Solutions  සමාගම සමගින් එකඟතාවකට පිවිසි බව පවසයි.

මෙහිදී efl හි ඉන්දියාව සඳහා වන ප්‍රධාන විධායක නිලධාරීවරයා සහ කළමනාකාර අධ්‍යක්ෂවරයා වන සෙන්තිල්නාදන් ෂන්මුගම් සහ Airfreight EFL ඉන්දියා සමාගමේ අධ්‍යක්ෂ සන්දීප් නාරායන් විසින් මෙම තෛපාර්ශ්වික අවබෝධතා ගිවිසුම වෙත අත්සන් තැබීම සිදු කළ බව සමාගම පවසයි. මෙම එකඟතාව හරහා ශීතාගාර පහසුකම් තුළ එම COVID-19 ඖෂධ ප්‍රවාහනය සැලසුම වී තිබේ.

අද වනවිට EFL ඉන්දියා සමාගම එරට ස්ථාන 19ක් පුරා ව්‍යාප්තව ඇත. විශේෂයෙන්ම ඉන්දියාව අද වනවිට ආසියාවේ පමණක් නොව ලෝකයේ පවා ඖෂධ නිෂ්පාදනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්ව තිබීමත් සමගින්ම මෙම එකඟතාවට පිවිසීම වැදගත් බව සමාගම සඳහන් කරයි. ඉන්දියාව මගින් අද වනවිට ඖෂධවලට අමතරව ශල්‍ය උපාංග, එන්නත් මෙන්ම වෛද්‍ය උපකරණද අපනයනය සිදු කරයි.

ඒ අනුව පවතින දේශීය ඉල්ලුම මෙන්ම ආසියාව, අප්‍රිකාව, මැපදෙරදිග සහ ඇමෙරිකානු කලාපය වෙත අපනයන ගමනාන්තයක් ලෙස පවතින අවශ්‍යතාවන් සලකා බලමින් මෙම එකඟතාවට පිවිසීමට Expolanka Freight කටයුතු යොදා තිබේ.

ඒ අතරින් මෙම අවබෝධතා ගිවිසුම් වෙත එළැඹි Tower Cold Chain Solutions මගින් IATA මගින් අනුමැතිය ලබා දී ඇති ඖෂධ කර්මාන්තය වෙත අවශ්‍ය මාදිලි රැසකින් සමන්විත සුවිශේෂී නිෂ්පාදන ලබා දීම සිදු කරයි. එසේම SpiceJet සමාගම සතුව පුළුල් බඳ සහ පටු බඳ සහිත නවීනතම ගුවන් යානා පවතින අතර එම යානා ඉන්දියාව තුළ දේශීය ගමනාන්ත 54ක් වෙතද ජාත්‍යන්තර ගමනාන්ත 45ක් වෙතද පියාසර කරන බව පවසයි.

මෙහිදී Efl සමාගම ගෝලීය භාණ්ඩ ප්‍රවාහනයේ අත්දැකීම් සහිත සිය කණ්ඩායම, ඖෂධ පිළිබඳ විශේෂඥයන් මෙන්ම ස්ථාපිත ගෝලීය පාරිභෝගික පදනමත් සමගින්ම මෙම අවබෝධතා ගිවිසුමට පිවිසීම හුදෙක් කලාපීය අවශ්‍යතාවන් සම්පූර්ණ කිරීමට පමණක් නොව, එන්නත් සහ අනෙකුත් ඖෂධ බෙදාහැරීම ඇතුළු ගෝලීය අවශ්‍යතාවන් සම්පූර්ණ කිරීමටත් අවස්ථාව උදාකරන බවත් සමාගම වැඩිදුරටත් පවසයි.

එක්පෝලංකා හෝල්ඩිංස් පීඑල්සී සමාගමේ සාමාජිකයෙකු වන Expofreight සමාගම අද වනවිට භාණ්ඩ ප්‍රවාහනය, ලෙෂර් සහ ආයෝජන සහ අංශයන්හි නිරතව සිටින බහුජාතික සමාගමකි. එය ජපානයේ SG Holdings සමූහයට අයත් දැවැන්ත සමාගමක් ලෙස ක්‍රියා කරයි. එසේම Efl සමාගම අද වනවිට ගුවන් භාණ්ඩ ප්‍රවාහන සමාගම් අතර මුල් 30 මෙන්ම නෞකා මගින් භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ සමාගම් අතරින් මුල් 50 අතරද පවතී.

ලොව පුරා රටවල් 25කට අධික සංඛ්‍යාවක කාර්යාල 60කට අධික සංඛ්‍යාවක් පිහිටා ඇති Efl සමාගම අද වනවිට වසරකට භාණ්ඩ ප්‍රවාහනය කිරීම් මිලියන 20කට අධික සංඛ්‍යාව හැසිරවීම සිදු කරන ගෝලීය සැපයුම් දාමයේ සහ භාණ්ඩ මෙහෙයුම් සිදු කිරීමේ ප්‍රධාන සමාගමකි.

Visits: 631