සතොස, සමූපකාර සහ Q-Shop හරහා මාස තුනක් සඳහා භාණ්ඩ 27ක් අඩු මිලට

වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කරන අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක මිල ස්ථායිකරණ ව්‍යාපෘතිය ලබන සඳුදා දිනයේ සිට ක්‍රියාත්මක වන බව එම අමාත්‍යාංශය පවසයි. ඒ අනුව සතොස, සමූපකාර හා Q-Shop හරහා ඉදිරි මාස තුනක කාලයක් පාරිභෝගිකයා වෙත මෙම අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 27 අඩු මිලට නිකුත් කරන බව අද පැවැති මාධ්‍ය හමුවකදී වෙළෙඳ අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

මෙහිදී වෙළෙඳ අමාත්‍යවරයා විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 27හි දැනට වෙළෙඳ පොළෙහි පවත්නා මිල ගණන් සහ භාණ්ඩ මිල ස්ථායිකරණ ව්‍යාපෘතිය යටතේ ඉහත සඳහන් කළ වෙළෙඳ සැල්  හරහා පාරිභෝගික ජනතාවට නිකුත් කරන මිල සහ එම මිල දෙකෙහි වෙනස සම්බන්ධයෙන් දැනුවත් කර තිබේ.

විශේෂයෙන්ම නිෂ්පාදනයේ ක්‍රමානුකූල වර්ධනය පදනම් කරගනිමින් මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක ළ යුතු වුවත් පවත්නා වසංගත තත්ත්වය හමුවේ ජනතාවට ලබා දිය හැකි උපරිම සහන ලබා දීම සඳහා මෙම කටයුතු ක්‍රියාවට නංවන බවත් අමාත්‍යවරයා පවසා ඇත.

එසේම මෙම අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය 27 සඳහා රජය විසින් එකඟවී ඇති මිල ගණන් ආදර්ශයක් කරගනිමින් පෞද්ගලික අංශයේ සුපිරි වෙළෙඳ සැල් ජාලයද ඊට අනුගතවීමට කටයුතු කරන්නේ නම් එය මෙවැනි අවස්ථාවකදී මහජනතාව වෙනුවෙන් සිය වගකීම ඉටු කිරීමක් වශයෙන් පෙන්වා දී ඇති අමාත්‍යවරයා ඒ සඳහා කෘතඥ වන බවද සඳහනර කර තිබේ.

මේ අතර සතොස, සමූපකාර හා Q-Shop හරහා මෙම භාණ්ඩ මිලදී ගැනීමේදී යම් ගැටලුවක් වේ නම් ඒ පිළිබඳව විමසීම සඳහා 1998 ඍජු දුරකතන අංයත්, මිල ගණන් වංචා සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා 1977 ඍජු දුරකතන අංකයත් ලබන සඳුදා සිට ක්‍රියාත්මක බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.

මෙම අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්, වෙළෙඳ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, සතොස සභාපති, රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි වී තිබේ.

Visits: 98