සම්පත් බැංකුවෙන් රුපියල් බිලියන 6ක් වටිනා ණයකර කොටස් නිකුතුවක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික වාණිජ බැංකුවක් වන සම්පත් බැංකුව රුපියල්  බිලියන 6ක් වටිනා ණයකර කොටස් නිකුතුවක් සඳහා සූදානමින් සිටින බව පවසයි. පසුගියදා රැස් වූ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල විසින් එම නිකුතුව සම්බන්ධ තීරණය ගෙන තිබේ.

ඒ අනුව මෙහිදී බාසෙල් III හා අනුකූල, – අදියර 2, ලැයිස්තුගත, වර්ගකෙරුණු, නොසුරැකුණු, අප්‍රධාන, ආපසු නිදහස් කරගත හැකි, වසර 7 ක (2021-2028) ණයකර ලෙස මෙම ණයකර නිකුත් කෙරෙන බව සම්පත් බැංකුව සඳහන් කරයි.

මෙහිදී මූලික නිකුතුව යටතේ ණයකර කොටස් 50,000ක් නිකුත් කිරීම සැලසුම වී ඇත. එහිදී එක් ණයකරයක් රුපියල් 100 බැගින් මිල කෙරී ඇති අතර මෙම ණයකර නිකුතුවේ සමස්ත වටිනාකම රුපියල් බිලියන 5 ක් (5,000,000,000ක්) වෙයි.

යම් ලෙසකින් මෙම ණයකර කොටස් නිකුත් කිරීම සඳහා අධි ඉල්ලුමක් ඉදිරිපත් වුවහොත් තවත් අමතර ණයකර කොටස් 10,000,000ක් නිකුත් කිරීමටද බැංකුව සූදානමින් සිටියි. එම එක් ණයකර කොටසක්ද රුපියල් 100 බැගින් මිල කෙරී ඇති අතර, එම නිකුතුවේ සමස්ත වටිනාකම රුපියල් බිලියනයක් (1,000,000,000 ක්) වෙයි.

මෙම ණයකර නිකුතුව සිදු කරන දිනයක් සම්බන්ධයෙන් නිවේදනය කෙරී නොමැති අතර එම ණයකර කොළඹ කොටස් හුවමාරැවෙහි ලැයිස්තුගත කිරීම සිදුකරන බවත් සම්පත් බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

සම්පත් බැංකුව මීට පෙර සිදු කළ අවසන් ණයකර කොටස් නිකුතුවේ දිනය ලෙස සටහන් වන්නේ 2019 වසරේ පෙබරවාරි මාසයේ 20 වැනිදාය. එදින බැංකුව විසින් රුපියල් බිලියන 7ක් වටිනා ණයකර නිකුතුවක් සිදු කර තිබේ. එහිදී එම ණයකර නිකුතුව අධි ඉල්ලුමක් සහිතව නිමාවට පත්ව තිබේ.

Visits: 1316