කඩාවැටුණු කොටස් හුවමාරුව යළි ශක්තිමත්ව නැගිටියි

අද (පෙබරවාරි 03) දිනයේ ගනුදෙනු ආරම්භයත් සමගින්ම ඊයේ දිනයේ පැවැති ලක්ෂණ අනුව යමින් ආයෝජකයන් තුළ ලාභ ඉපැයීමේ අවස්ථාවක් පෙන්නුම් කළද පසුව වෙළෙඳපොළ යළිත් ශක්තිමත්ව යථාවත්වීමේ අවස්ථාවක් දැකගත හැකි විය. එහිදී විශේෂයෙන්ම වෙළෙඳපොළ වාෂ්පශීලීතාව සහ ආර්ථික තත්ත්වයේ පවතින අපැහැදිලිතාව සම්බන්ධයෙන් තවදුරටත් ආයෝජකයන් කල්පනාකාරීව කටයුතු කරන බවත් දැකගත හැකි බවද කොටස් තැරැව්කාර සමාගම් පවසයි.

කෙසේ වෙතත් අද දිනය අවසානයේදීද රුපියල් බිලියන 6 ඉක්මවූ පිරිවැටුමක් අත්කරගැනීමට කොටස් හුවමාරුව සමත්වීමත් කැපී පෙනේ. තවදුරටත් පහළ මට්ටමේ පවතින පොලී අනුපාත ඒ සඳහා තල්ලුවක් ලබා දී තිබෙන බවද කොටස් තැරැව්කාර සමාගම් සඳහන් කරයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 7,969.83ත් ඒකක 8,291.79 ත් අතර අගයක විචලනයක් පෙන්වූ සමස්ත කොටස් මිල දර්ශකය (ASPI)  දිනය නිමා වනවිට ඒකක 8,244.50 ක් බවට පත්විය. එය ඊයේ (පෙබරවාරි 02) දිනයට සාපේක්ෂව ඒකක 239.18 ක් එනම් +2.99%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදුකළ සාකච්ඡාවකට අනුව අද දිනයේදී සිදු වූ සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සහ එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී ගනුදෙනු දිනයේ පිරිවැටුම සඳහා 1%ක දායකත්වයක් ලබා දී ඇත.

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 176ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 37ක මිල ගණන් පහළ ගොස් තිබේ.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (+20.93), එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+16.1), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (+9.81), සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී CTC (+8.03), වැලිබල් වන් පීඑල්සී VONE (+7.95),  නෙස්ලේ ලංකා පීඑල්සී NEST (-2.34),  ඩයලොග් ෆිනෑන්ස් පීඑල්සී CALF (-1.92),  සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී SHL (-1.36), සම්පත් බැංකුව SAMP (-0.65), අගලවත්ත ප්ලාන්ටේෂන්ස් පීඑල්සී AGAL (-0.39) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,293.45 ක අගයක් ගත් අතර, එය ඊයේ (පෙබරවාරි 02) දිනයට සාපේක්ෂව ඒකක 106.07 ක එනම් +3.33%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 6.22ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (පෙබරවාරි 02දා) වාර්තා කළ රුපියල් බිලියන 6.93ට සාපේක්ෂව 10% ක පහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.6ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 21.73%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 108.45ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 393.56ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායෑම්හි වටිනාකම රුපියල් මිලියන 285.11කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 9.36ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය එල්බී ෆිනෑන්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 13.43කි. එසේම සම්පත් බැංකුව විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 92.01ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල්  මිලියන 1,901ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 31% ක අගයක් ගෙන තිබේ. විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් සහ නිෂ්පාදන අමුද්‍රව්‍ය අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 1,228ක සහ රුපියල් මිලියන 996 ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 370