හිටපු මහ බැංකු අධිපති කුමාරස්වාමි ඩයලොග් ආසිආටා අධ්‍යක්ෂ මණ්ඩලයට

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරයෙකු වන ආචාර්ය ඉන්ද්‍රිජිත් කුමාරස්වාමි මහතා ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත්කර ඇතැයි වාර්තා වෙයි. ඊයේ (පෙබරවාරි 01 වැනිදා) සිට මෙම නව පත් කිරීම සිදුව තිබේ.

මෙහිදී ආචාර්ය කුමාරස්වාමි මහතා සමාගමේ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත් කෙරී ඇති අතර, මෙම පත්වීම ලබන අවස්ථාව වන විට ඒ මහතා සතුව සමාගමේ කිසිදු කොටස් හිමිකාරීත්වයක් නොතිබූ බවද ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම  වැඩිදුරටත් සඳහන් කරයි.

ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා 2016 වසරේ ජූලි මාසයේ සිට 2019 දෙසැම්බර් මාසය දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ 14 වැනි අධිපතිවරයා ලෙස කටයුතු කළේය. ඒ මහතාට වසර 40කට අධික කාලයක් පුරා බැංකු ක්ෂේත්‍රය පිළිබඳව මෙන්ම ජාතික මෙන්ම අන්තර්රාජ්‍ය මට්ටමෙන්ද සාර්වආර්ථික සහ සැලසුම් සකස් කිරීම් සම්බන්ධයෙන් ප්‍රතිපත්ති සම්පාදනය හා උපදෙස් ලබා දීම සම්බන්ධයෙන්ද අත්දැකීම් සහිත බව පැවසෙයි.

1974 වසරේ සිට 1989 වසර දක්වා මහ බැංකුවේ නිලධාරියෙකු ලෙස කටයුතු කර ඇති කුමාරස්වාමි මහතා, පසුව පොදුරාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලයේ ආර්ථික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කර තිබේ.

2016 වසරේදී මහ බැංකු අධිපතිවරයා බවට පත්වීමට පෙරාතුව ඒ මහතා ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගමේ සහ ටෝකියෝ සිමෙන්ති සමාගමේ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කර තිබේ. 2020 වසරේ මැයි මාසයේදී ඒ මහතා යළිත් ටෝකියෝ සිමෙන්ති සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය හා එක් විය.

මෑතකාලයේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස තේරී පත් වූ සාර්ථකම, වඩාත් නිහතමානීම පුද්ගලයා ලෙසටද ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පිළිගැනේ. 

ඒ අනුව 2016 වසරේදී ඒ මහතා LMD සඟරාව මගින් තේරූ ‘Sri Lankan of the year 2016’ සම්මානයෙන්ද, 2017 වසරේදී Euromoney Investor Group Plc මගින් ඒ මහතා දකුණු ආසියාවේ හොඳම මහ බැංකු අධිපතිවරයා ලෙසද පිදුම් දුන්නේය. 2019 වසරේදී ඒ මහතා වෙත දේශමාන්‍ය යන සම්මානයෙන්ද පිදුම් ලැබීය.

එසේම පසුගිය වසර ආරම්භයේදී මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත්වීමෙන් අනතුරුව ආචාර්ය කුමාරස්වාමි මහතා තමන් අවසන් වරට සේවය ලබා දුන් පාත්ෆයින්ඩර් ෆවුන්ඩේෂන් නම් රාජ්‍ය නොවන සංවිධානයේ කටයුතු හා යළි එක්විය. එවකට ඒ මහතා එම සංවිධානයේ උප සභාපතිවරයා ලෙස කටයුතු කළේය.

එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් බී.ඒ. (ගෞරව) උපාධියක් හිමි කරගෙන ඇති කුමාරස්වාමි මහතා, සසෙක්ස් විශ්වවිද්‍යාලයෙන් Dphil උපාධියක්ද  හිමි කරගෙන තිබේ. ඊට අමතරව ඒ මහතා ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායමේ නායකත්වය දරා ඇති අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පෙළ ක්‍රිකට් තරගවලටද සහභාගි වී ඇතැයි සඳහන් වෙයි.

Visits: 246