රු.බිලියන 2ක ෆර්ස්ට් කැපිටල් හෝල්ඩිංග්ස් ණයකර නිකුතුවට අධි ඉල්ලුමක්

කොළඹ කොටස්  හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගමක් වන ෆර්ස්ට් කැපිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී මගින් ඊයේ (පෙබරවාරි 01) ඉදිරිපත් කරන ලද රුපියල් බිලියන 2ක ණයකර නිකුතුව අධි ඉල්ලුමක් සමගින් නිමාවට පත් වූ බව එම සමාගම පවසයි.

සමාගම සඳහන් කරන ආකාරයට මෙහිදී මූලික නිකුත් කිරීමක් යටතේ ලැයිස්තුගත, වර්ගකෙරුණු, නොසුරැකුණු, ආපසු නිදහස් කරවාගත හැකි ණයකර මිලියන 10ක් නිකුත් කිරීමක් සිදුව තිබේ. එහිදී එක් ණයකරයක් රුපියල් 100 බැගින් නිකුත් කර ඇති අතර ඒ හරහා රුපියල් බිලියන 1ක මුදලක් (1,000,000,000) රැස් කරගැනීමට සමාගම සමත්ව ඇත. ඒ අනුව මූලික නිකුතුව සඳහා ඉදිරිපත් වූ අධි ඉල්ලුමට අනුව පෙර සැලසුම් කළ ආකාරයට තවත් ණයකර  මිලියන 10ක් නිකුත් කිරීම සිදුව තිබේ. ඒ සඳහාද අධි ඉල්ලුමක් හිමිව ඇති අතර ඒ හරහා රැස් කරගැනීමට හැකි වී ඇති මුදල් ප්‍රමාණය බිලියනයකි.

ඒ අනුව මෙම නිකුතු දෙක හරහා රැස් කරගෙන ඇති සම්පූර්ණ මුදලේ වටිනාකම රුපියල් බිලියන 2 ක් (2,000,000,000) බව ෆර්ස්ට් කැපිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම පවසයි. මේ සමගම ඊයේ දිනයේදී මෙම ණය කර නිකුතුව නිමා කිරීමට හැකි වූ බවද සමාගම සඳහන් කරයි.

Visits: 175