වර්ල්ඩ් ෆයිනෑන්ස් ඩිජිටල් සම්මාන උළෙලේ දී මහජන බැංකුවට සම්මාන ද්විත්වයක්

වර්ල්ඩ් ෆයිනෑන්ස් ඩිජිටල් සම්මාන 2020 උළෙලේ දී මහජන බැංකුව ‘’ශී‍්‍ර ලංකාවේ විශිෂ්ටතම ඩිජිටල් බැංකුව’ ලෙස සහ මහජන බැංකුවේ ජංගම බැංකුකරණ යෙදුම වන People’s Wave APP ‘’ශී‍්‍ර ලංකාවේ විශිෂ්ටතම ජංගම බැංකුකරණ යෙදුම’ ලෙස සම්මානයට පාත‍්‍ර වූ බව පවසයි.

ඒ අනුව මෙම සම්මාන ඇගයීම තුළින් මහජන බැංකුවේ ඉදිරි ගමනේ සාර්ථකත්වය පිළිබිඹු කරනවාක් මෙන්ම ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ඩිජිටල්කරණය වූ බැංකුව ලෙස සිය ස්ථාවරත්වය තව තවත් තහවුරු වුණු බවද බැංකුව සඳහන් කරයි.

ජාත්‍යන්තර වෙළඳාම්, ගෝලීය ආර්ථිකය සහ මුල්‍ය  ක්ෂේත‍්‍රය පිළිබඳව ගෞරවයට පාත‍්‍ර වූ සඟරාවක් ලෙස World Finance ලොව පුරා ප‍්‍රචලිත වී ඇත. ගෝලීය මුල්‍ය ක්ෂේත‍්‍රයේ ඉහළ පිළිගැනීමක් තිබෙන සම්මාන උළෙලක් ලෙස The World Finance විසින් සංවිධානය කරන වර්ල්ඩ් ෆයිනෑන්ස් ඩිජිටල් සම්මාන හැඳින්විය හැක. එහිදී මහජන බැංකුව 2020 වසර සඳහා සම්මාන ද්විත්වයක්ම හිමිකර ගැනීම විශේෂත්වයකි.

ශ‍්‍රී ලංකාවේ ඩිජිටල් බැංකුකරණ ක්ෂේත‍්‍රය පසුගිය 2020 වසරේ දී වඩාත් තරගකාරීව ඉදිරියට පැමිණියේය. විශේෂයෙන්ම කොවිඞ්-19 වසංගතයේ බලපෑමත් සමඟ වඩාත් ආරක්ෂිත ඩිජිටල් බැංකුකරණ විසඳුම්වල අවශ්‍යතාව දැඩි ලෙස ඉහළ ගියේය. මෙම සම්මාන සහ මීට ප‍්‍රථම  Asiamoney Best Bank Awards 2020 සම්මාන උළෙලේ දී ලබාගත්  Best Digital Bank සම්මාන ආදී පිළිගැනීම්වලින් ශ‍්‍රී ලංකාවේ ඩිජිටල් බැංකුකරණ ක්ෂේත‍්‍රය තාක්ෂණයෙන් පරිපූර්ණ ඉදිරිගාමී ක්ෂේත‍්‍රයක් කිරීමේ පෙරගමන්කරුවා වෙමින් මහජන බැංකුව සිදුකරන කාර්යභාරය මනාව පිළිබිඹු වේ.

මෙම සම්මාන පිළිබඳ සිය අදහස් දැක්වූ මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා, “මුල්‍ය ක්ෂේත‍්‍රයට ඩිජිටල් නව්‍යකරණය හඳුන්වාදීම සහ අති නවීන තාක්ෂණයෙන් යුත් යෙදුමක් හඳුන්වාදීම වෙනුවෙන් අපගේ කැපවීම ජාත්‍යන්තර වේදිකාවක නැවත වරක් සම්මානයට පාත‍්‍රවීම පිළිබඳව මහජන බැංකුව ලෙස අප වඩාත් සතුටට පත්වෙනවා. අපි මෙතෙක් ලැබූ සෑම සම්මානයකින්ම තව තවත් ධෛර්යමත් වෙනවා වගේම ශ‍්‍රී ලංකාවේ ඩිජිටල් බැංකුකරණයේ පුරෝගාමීයා ලෙස කැපවීමෙන් ඉදිරියට යන්න අපි තවත් කටයුතු කරනවා.”

මහජන බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු මහතා මෙසේ සිය අදහස් දැක්වීය, ”ඩිජිටල්කරණය වෙනුවෙන් අප කළ කැපකිරීම් නිසා අපට ජයග‍්‍රහණ රැසක් අත්පත් කරගන්න හැකි වුණා. මෙම සම්මාන ඇගයීම්වලින් ලෝකයේ ඉදිරියෙන්ම සිටින මුල්‍ය ආයතන අතර අපේ නම තවදුරටත් ස්ථාවර වෙනවා. එයම අප ලැබූ ජයග‍්‍රහණයක් වෙනවා වගේම අපට එය අති මහත් ගෞරවයක්.” යනුවෙන් පවසයි.

මහජන බැංකුවේ ඩිජිටල්කරණ ව්‍යාපෘතිය හරහා රටම කතාබහ කරන නව්‍ය ඩිජිටල් මුල්‍ය හඳුන්වාදීම් රැසක් දේශීය මුල්‍ය වෙළඳපොලට ඉදිරිපත් කර තිබේ. ATM යන්ත‍්‍රයක්, මුදල් තැන්පතු යන්ත‍්‍රයක් (CDM) සහ ගනුදෙනුකරුවන්ට තමන්ගේ ගෙවීම් සිදුකළ හැකි Kiosk යන්ත‍්‍රයක් සහිත පැය 24 පුරාම පහසුවෙන් බැංකු කටයුතු කරගැනීමට විවෘත ස්වයං බැංකුකරණ ඒකක (SBU) සංකල්පය පළමුවරට රටට හඳුන්වාදීමේ ගෞරවය මහජන බැංකුවට හිමිවේ.

ශ‍්‍රී ලංකාව තුළ වැඩියෙන්ම බාගත කරගත් බැංකුකරණ යෙදුම බවට පත්වූ People’s Wave ඉතාම විප්ලවීය යෙදුමකි. එය Google Play Store වල 900,000කට වැඩි බාගත වී ඇති අතර, 4.3ක ඇප් ශ්‍රේණිගත කිරීමක් ලබාගෙන තිබේ. මෙම යෙදුමේ ඇති සුපිරි විශේෂාංග සහ හඳුන්වාදීම් වෙනුවෙන් ජාත්‍යන්තර සම්මාන රැසක් ලබාගැනීමට හැකි වී තිබේ.

Visits: 32