LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී ණයකර නිකුතුවේ වටිනාකම රු. බිලියන 10 දක්වා ඉහළ දමයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගමක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම මගින් සිදු කිරීමට යෝජනා කර තිබූ ණයකර කොටස් මිලියන 65ක නිකුතුව ණයකර කොටස් මිලියන 100ක් දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇතැයි පවසයි.

පසුගිය වසරේ දෙසැම්බර් 09 වැනිදා රැස් වූ LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙලෙස ණයකර කොටස් මිලියන 65ක (65,000,000)ක නිකුතුවක් සඳහා තීරණය කර තිබුණි.

එහිදී එම නිකුතුව ලැයිස්තුගත, වර්ගකෙරුණු, නොසුරැකුණු, යළි නිදහස් කරවාගත හැකි ණයකර ලෙස සිදු කිරීම සැලසුම විය. එසේම එක් ණයකරයක වටිනාකම රුපියල් 100 යටතේ මෙම නිකුතුවේ වටිනාකම රුපියල් බිලියන 6.5 ක් (6,500,000,000ක්) බවද සමාගම සඳහන් කර තිබුණි.

එහෙත් මෙලෙස නිකුත් කරනු ලබන ණයකර ප්‍රමාණය මිලියන 100 දක්වා ඉහළ නැංවීමත් සමගින්ම එම ණයකර නිකුතුවේ වටිනාකම රුපියල් බිලියන 10ක් (10,000,000,000) දක්වා ඉහළ යන බවද LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී වැඩිදුරටත් සඳහන් කරයි.

කෙසේ වෙතත් මෙම ණයකර නිකුතුව සඳහා නියාමකයා වන කොළඹ කොටස්  හුවමාරුවේ අනුමැතිය අවශ්‍යව ඇති බවත් ඉන් අනතුරුව මෙම ණයකර නිකුතුව එහි ලැයිස්තුගත කරන බවත් සමාගම පවසයි.

Visits: 332