සම්පත් බැංකුව නිසා ඉහළ ගිය ASPI තාක්ෂණික දෝෂය නිසා පහත වැටෙයි

අද (ජනවාරි 29) දිනයේ ආරම්භයත් සමගින්ම සම්පත් බැංකුවේ කොටස් වටිනාකම් කැපී පෙනෙන ලෙස ඉහළ යාමක් සිදු විය. පෙරේදා පැවැති අවසන් ගනුදෙනු දිනයේදී ප්‍රකාශයට පත් කර තිබූ බැංකුවේ කොටස් අතුරු බෙදීමේ නිවේදනය ඊට හේතු වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. ඒ අනුව අද දිනය තුළදී සමස්ත කොටස් මිල දර්ශකයත් ඒකක 9,000ක් ඉක්මවීමක්ද වාර්තා කෙරිණි. එහෙත් ගණුදෙනු ඇරඹී පැයකට පමණ පසුව ඇති වූ තාක්ෂණික දෝෂය නිසා දිනය අවසානයේදී එම අගය 8,668 දක්වා සීමා විය.

මේ අතර එක්ස්පෝ හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ ඉපැයීම් පිළිබඳ ලැබුණු වාර්තාව ආයෝජකයන් තුළ ඍණාත්මක තත්ත්වයක් ඇති වීමට හේතු වූ බව තැරැව්කාර සමාගම් පවසයි. එසේම දිනය අවසානයේදී සම්පත් බැංකුව තුළ පෙන්නුම් කළ විදේශ ආයෝජන පිටතට ගලායාම් ඉහළ යාමද ආයෝජකයන් වෙත බලපෑමක් එල්ල කර තිබේ.

ඒ අනුව අද දිනයේදී ඒකක 8,622.53ත් ඒකක 9,025.82 ත් අතර අගයක විචලනයක් පෙන්වූ සමස්ත කොටස් මිල දර්ශකය (ASPI)  දිනය නිමා වනවිට ඒකක 8,668.07 ක් බවට පත්විය. එය පෙරේදා (ජනවාරි 27) දිනයට සාපේක්ෂව ඒකක 143.94 ක් එනම් -1.63%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

මෙහිදී පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව පෑන්ඒෂියා බැංකුව, සණස සංවර්ධන බැංකුව, කොමර්ෂල් බැංකුව සහ සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් යන සමාගම් තුළ සිදු වූ ගනුදෙනු දිනයේ පිරිවැටුම සඳහා 1%ක දායකත්වයක් ලබා දී තිබේ.

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 48ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 181ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ සම්පත් බැංකුව SAMP (+30.32), වැලිබල් වන් පීඑල්සී VONE (+25.35), හැටන් නැෂනල් බැංකුව HNB (+6.81), ඕවර්සීස් රියැලිටි සිලෝන් පීඑල්සී OSEA (+3.7), සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී SHL (+2.73),  එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-24.15),  බ්‍රවුන්ස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී BRWN (-13.86),  ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී  JKH (-12.82), බුකිට් ඩරාහ් පීඑල්සී BUKI (-9.45),  එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (-9.24)

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,514.18 ක අගයක් ගත් අතර, එය පෙරේදා (ජනවාරි 27) දිනයට සාපේක්ෂව ඒකක 8.85 ක එනම් +0.25%ක ඉහළ යාමක් වාර්තා කිරීමට සමත්ව තිබේ.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 13.42ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පෙරේදා (ජනවාරි 27දා) වාර්තා කළ රුපියල් බිලියන 14.41ට සාපේක්ෂව 7% ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.79ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 27.98%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 255.94ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 2,585.48ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායෑම්හි වටිනාකම රුපියල් මිලියන 2,329.54කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 8.51ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 6.7කි. එසේම සම්පත් බැංකුව විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 1,760ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල්  මිලියන 4,375ක් සඳහා බැංකු අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 33% ක අගයක් ගෙන තිබේ. ප්‍රාග්ධන භාණ්ඩ සහ විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් සහ ප්‍රවාහන යන අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 2,885ක සහ රුපියල් මිලියන 2,728 ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 874