වසර 45 ක් පැරණි කොල්ලුපිටිය වෙළඳ පොළ, මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස සංවර්ධනය කිරීමට යයි

1976 වසරේ දී ආරම්භ කළ කොල්ලුපිටිය වෙළඳ පොළ, සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සහ කොළඹ මහ නගර සභාව එක්ව තීරණය කර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි.

කොළඹ නගරයේ පැරණි වෙළඳ පොළවල් මහජන සේවාවන් සපයන පහසුකම් රැසකින් යුත් වෙළඳ පොළ සංකීර්ණ වශයෙන් සංවර්ධනය කරන ලෙසට එම අමාත්‍ය, අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව මෙම වැඩසටහන ආරම්භ කෙරේ.

මීට දශක 04 කට පමණ පෙර සුපිරි වෙළඳ සැල යනුවෙන් ද හැඳින්වෙන මෙහි වෙළඳසැල් හිමිකරුවන්ගේ ඉල්ලීම මත මෙම කොල්ලුපිටිය වෙළඳපොළ වර්තමානයට සහ අනාගතයට ගැලපෙන ලෙස මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් යටතේ රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයෙන් (PPP) මෙලෙස සංවර්ධනය සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම පසුගිය දා නාගරික සංවර්ධන අධිකාරිය සහ කොළඹ මහ නගර සභාව අතර සිදු විය.

අවබෝධතා ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වරලත් නගර නිර්මාණ ශිල්පී ප්‍රසාද් රණවීර, කොළඹ මහ නගර සභාවේ පුරපතිනිය රෝසි සේනානායක සහ කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් රෝෂිණි දිසානායක යන මහත්ම මහත්මීහු සහභාගී වී තිබේ.

එම ගිවිසුමට අනුව, කොල්ලුපිටිය නව බහු මහල් වෙළඳ සංකීර්ණය මහල් 40 කින් සමන්විත බහු මහල් ව්‍යාපෘතියක් ලෙස ඉදිකිරීමට නියමිතයි. අක්කරයක භූමි ප්‍රදේශයක් පුරා පැතිර ඇති කොල්ලුපිටිය වෙළඳපොළ ධර්මපාල මාවතට සහ ශාන්ත මයිකල් පාරට මැදිව කොල්ලුපිටිය නගර මධ්‍යයේ පිහිටා ඇත.

කොල්ලුපිටිය වෙළඳ පොළ, කඩකාමර 90 කින් සමන්විත තෙමහල් ගොඩනැගිල්ලක් වන අතර කොළඹ මහනගර සභාවේ හිටපු නගරාධිපතිවරයෙකු වන ඒ.එච්.එම්. ෆවුසි මහතාගේ කාලයේ එය ඉදිකර තිබේ. මෙම වෙළඳපොළ 1976 අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ පැවති නොබැඳි සමුළුවට පැමිණි ඇමරිකානු තානාපතිවරයා, එවකට අගමැතිව සිටි සිරිමාවෝ බණ්ඩාරණායක මැතිනිය කළ ආරාධනාව මත විවෘත කරනු ලැබූවකි.

Visits: 167