කලකට පසු බැංකු කොටස් වටිනාකම් ඉහළට

අද දිනයේදී (ජනවාරි 19) කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු ආරම්භයේදී වඩාත් සාර්ථක අවස්ථාවක් පෙන්නුම් කළද, එල්ඕඑල්සී සමූහයේ සමාගම් තුළ ආයෝජනය කළ පිරිස් ලාභ ඉපැයීම් වෙත යොමු වීම නිසා දර්ශක අගයන් පහත වැටීමක් සිදු වුණු බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහෙත් බැංකු කොටස් සඳහා වූ ඉල්ලුම ඉහළ යාම ඇතුළුව තනි පුද්ගල ආයෝජකයන් තුළ කොටස් මිලදී ගැනීම සඳහා පැවැති උනන්දුව නිසා දිනය නිමා වන විට දර්ශක අගයන් දරුණු කඩා වැටීමකින් තොරව ආරක්ෂා වූ බවද එම සමාගම් සඳහන් කරයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 7,752.06ත් ඒකක 8,023.14 ත් අතර අගයක විචලනයක් පෙන්වූ සමස්ත කොටස් මිල දර්ශකය (ASPI)  දිනය නිමා වනවිට ඒකක 7,808.97 ක් බවට පත්විය. එය ඊයේ (ජනවාරි 18) දිනයට සාපේක්ෂව ඒකක 113.69 ක් එනම් -1.43%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

මෙහිදී පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව කොමර්ෂල් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, ඩයලොග් ආසිආටා පීඑල්සී, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී, සෙන්ට්‍රල් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී සහ රේනුකා කැපිටල් පීඑල්සී යන සමාගම් තුළ සිදු වූ ගනුදෙනු දිනයේ පිරිවැටුම සඳහා 4%ක දායකත්වයක් ලබා දී තිබේ.

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 78ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 138ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ කොමර්ෂල් බැංකුව COMB (+18.85), සම්පත් බැංකුව SAMP (+13.31), ඊබී ඇන්ඩ් ක්‍රීසී පීඑල්සී EBCR (+7.93),  හැටන් නැෂනල් බැංකුව HNB (+6.1), පෑන් ඒෂියා බැංකුව PABC (+3.64),  එල්ඕඑල්සී පීඑල්සී LOLC (-32.34),  කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී  CLC (-26.26),  එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී  LOFC (-19.22), එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-16.99), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (-13.15)

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,059.03 ක අගයක් ගත් අතර, එය ඊයේ (ජනවාරි 18) දිනයට සාපේක්ෂව ඒකක 55.73 ක එනම් +1.86%ක ඉහළ යාමක් වාර්තා කිරීමට සමත්ව තිබේ.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 11.42ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (ජනවාරි 18දා) වාර්තා කළ රුපියල් බිලියන 12.18ට සාපේක්ෂව 6% ක පහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.41ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 15.30%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 321.73ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 857.59ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායෑම්හි වටිනාකම රුපියල් මිලියන 535.86කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 2.24ක් ලෙස සටහන්ව තිබේ.

දිනය තුළ විදේශයන්හි සිට විදේශයන් දක්වා සිදු වූ ගනුදෙනුවල වටිනාකම රුපියල් මිලියන 214.42කි.  

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය හේලීස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 22.8කි. එසේම  හැටන් නැෂනල් බැංකුව විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 264.4ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල්  මිලියන 2,774ක් සඳහා බැංකු අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 24% ක අගයක් ගෙන තිබේ. ප්‍රාග්ධන භාණ්ඩ හා ආහාර, පානවර්ග සහ දුම්කොළ නිෂ්පාදන අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 2,634ක සහ රුපියල් මිලියන 1,717දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 294