කොවිඩ්-19 නැවත ව්‍යාප්තිය නිසා 2020 නොවැ. වෙළෙඳ භාණ්ඩ අපනයන ඉපැයීම් දුර්වල වෙයි

2020 වසරේ නොවැම්බර් මාසයේදී මෙරට වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් මිලියන 819ක් වූ බවත් එය 2019 වසරේ නොවැම්බර් මාසයේදී ඉපැයූ ඩොලර් මිලියන 979ක අපනයනය ආදායමට සාපේක්ෂව 16.3% ක පහත වැටීමක් වන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

2020 නොවැම්බර් මාසයේදී විදේශීය ආංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව දත්ත වාර්තා කරමින් මහ බැංකුව මේ කරුණු සඳහන් කරයි.

එසේම 2020 නොවැම්බර් මාසයේ මෙම වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම 2020 ඔක්තෝබර් මාසයට සාපේක්ෂව 3.4%ක පහත වැටීමක් ලෙසටද වාර්තා වී තිබේ.

මෙලෙස අපනයන ආදායම් පහත වැටීම සඳහා වසංගතයේ දෙවැනි රැල්ලේ බලපෑම අවම කිරීම සඳහා රට තුළ පනවන ලද ක්‍රියාමාර්ග හේතු වී බව මහ බැංකුව පවසයි. විශේෂයෙන්ම ඇගලුම් ඇතුළු ප්‍රධාන අපනයන අංශවල නිෂ්පාදන ක්‍රියාකාරකම්වල බලපෑම ඇති වී තිබේ. එසේම වසංගතයේ දෙවැනි රැල්ල අපනයන ඉල්ලුම සඳහා අහිතකර ලෙස බලපා ඇති අතර, ගෝලීය නාවික හා සැපයුම් දාමයන්ට සැලකිය යුතු බාධා ඇති වීමද දේශීය ව්‍යාපාරවලට අහිතකර ලෙස බලපා ඇතැයිද මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

මෙහිදී කාර්මික අපනයන ආදායම 2019 වසරේ නොවැම්බර් මාසයට සාපේක්ෂව 2020 නොවැම්බර් මාසයේදී 19.9%කින්  පහත වැටී තිබේ. මේ සඳහා ඇගලුම් අපනයන ආදායම් 37.2%කින් පහත වැටීම ප්‍රධානව හේතු වී තිබේ.

එසේම 2019 වසරේ නොවැම්බර් මාසයට සාපේක්ෂව 2020 වසරේ නොවැම්බර් මාසයේදී කෘෂිකාර්මික අපනයන ආදායම 2.4%ක ප්‍රතිශතයකින් පහත වැටී තිබේ.  එහිදී මුහුදු ආහාර, සුළු කෘෂිකාර්මික නිෂ්පාදිත (පළතුරු, අහාරයට ගත හැකි ඇට වර්ග, බුලත් ආදිය) සහ තේ අපනයන පහත වැටීම හේතු වී තිබේ. ඒ අතරින් තේ අපනයන ආදායම 5.2%කින් පහත වැටී තිබේ.

මීට අමතරව ඛනිජ අපනයන 2019 වසරේ නොවැම්බර් මාසයට සාපේක්ෂව 2020 වසරේ නොවැම්බර් මාසයේදී ඛනිජ අපනයන ආදායම 4.4%කින් පහත වැටී තිබේ. එහිදී පාෂාණ හා ගල් වර්ග අපනයන ආදායම පහත වැටී ඇති අතර, ලෝපස් ලෝබොර හා අළු අපනයන ආදායම ඉහළ ගොස් ඇත.

Visits: 211