FitsAir සමාගම A320/A330 ගුවන් යානා දෙකක් මිලදී ගැනීමට යයි

එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් සමූහය යටතේ ක්‍රියාත්මක ගුවන් සේවයක් වන FitsAir ගුවන් සමාගම ඉදිරියේදී සිය ගුවන් සමාගම සඳහා එයාර්බස් A320 හෝ  A330 මාදිලියේ ගුවන් යානා දෙකක් කල්බදු පදනම මත මිලදී ගැනීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.

ඒ අනුව මේ වනවිට එම ගුවන් යානා නඩත්තු කිරීම සඳහා දැනුම සහිත සුදුසුකම් ලත් ඉංජිනේරුවරුන් මෙන්ම එම ගුවන් යානා පැදවියහැකි ගුවන් නියමුවන්ද ඉල්ලමින් දැන්වීම් පළ කිරීමට FitsAir සමාගම කටයුතු යොදා තිබේ.

ඒ අතරින් ගුවන් යානා සඳහා නව කපිතාන්වරුන් සතුව A320/A330 ගුවන් යානා පැදවීමේ පියාසර පැය 1000ක අත්දැකීමක් මෙන්ම ජෙට් ගුවන් යානාවක පියාසර පැය 5,000ක අත්දැකීමක් තිබීම සුදුසුකම් වෙයි. එසේම පළමු නිලධාරීන් සඳහා A320/A330 ගුවන් යානා පැදවීමේ පියාසර පැය 500ක අත්දැකීමක් පැවතිය යුතුය.

මෙලෙස කල්බදු පදනමින් මිලදී ගන්නා ගුවන් යානා දෙක අතරින් එකක් භාණ්ඩ ප්‍රවාහනයටත්, අනෙක මගීන් ප්‍රවාහනයටත් යෙදවෙන බව පැවසෙයි.

එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහයට අයත්ව තිබූ එක්ස්පෝ එයාර් සමාගම 2013 වසරේදී මෙලෙස Fits Air ලෙස සන්නාමය වෙනස් කර  නැවත දියත් කෙරිණි. එක්ස්පෝ ලංකා සමූහය කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගමක්ව තිබියදී එයි අධ්‍යක්ෂවරුන්ට ගුවන් යානා සමාගම පිළිබඳව පැනනගින ගැටලුවලට පිලිතුරු දීමට නොහැකිවීම එක්ස්පෝ එයාර් සමාගම එලෙස FitsAir නමින් වෙනස් සමාගමක් බවට පත් කිරීමට හේතු විය.

අද වනවිට FitsAir සමාගම සතුව ATR72-600 මාදිලියේ එක් ගුවන් යානයක්, සෙස්නා 152 මාදිලියේ යානා දෙකක් සහ සෙස්නා 208 මාදිලියේ ගුව්න යානා දෙකක් ඇත. එසේම ඒවියේෂන් එක්ස්ප්‍රස් සමාගම මගින් කල්බදු පදනම යටතේ ලබා ගත් A321 ගුවන් යානයක්ද සමාගම සතුය.  එය මේ වනවිටත් ප්‍රදානවම ඩුබායි ඇතුළු තවත් ගමාන්නත වෙත භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ලෙස ක්‍රියා කරයි.

Visits: 878