ආයෝජක විශ්වාසය ඉහළ යමින් දර්ශක අගයන් ඉහළට – රුපියල් බිලියන 8.59ක පිරිවැටුමක්

අද දිනයේදී (ජනවාරි 12) කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු ආරම්භයේදී මිශ්‍ර ලක්ෂණ පෙන්නුම් කළ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී සමස්ත දිනය පුරාම පෙන්නුම් කළ ගැනුම්බරතාව හේතුවෙන් සමස්ත කොටස් මිල දර්ශකය තවදුරටත් ඉහළ යාම සිදු වුණු අතර, දිනය ආරම්භයේදී ආයෝජකයන් පෙන්නුම් කළ ලාභ  ඉපැයීමේ පරමාර්ථ හේතුවෙන් ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයේ යම් අඩුවීමක් දක්න ලැබී ඇත. කෙසේ වෙතත් දිනයේ දෙවැනි අර්ධයේදී ආයෝජකයන් පෙන්නුම් කළ ඉහළ ආකර්ෂණයත් සමග දර්ශක අගයන් දෙකම ඉහළ යාම සිදුව තිබේ.

එහිදී විශේෂයෙන්ම බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සහ එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී වැනි ඉහළ ප්‍රාග්ධනීකරණයක් සහිත සමාගම් දිනයේ ගනුදෙනු සඳහා ඉහළ දායකත්වයක් ලබා දී ඇත. එසේම අද දිනයේදී ටයිල් අංශය ඇතුළු නිෂ්පාදන අංශයේ සමාගම් තුළ ධනාත්මක ප්‍රවණතාවක් දැක් වූ බවද මෙම කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එසේම සමාගම් කිහිපයකදීම ලාභ ඉපැයීමක්ද ආයෝජකයන් අතර දැකගත හැකි විය.

ඒ අනුව අද දිනයේදී ඒකක 7,225.84ත් ඒකක 7,312.96 ත් අතර අගයක විචලනයක් පෙන්වූ සමස්ත කොටස් මිල දර්ශකය (ASPI)  දිනය නිමා වනවිට ඒකක 7,282.24 ක් බවට පත්විය. එය ඊයේ (ජනවාරි 11) දිනයට සාපේක්ෂව ඒකක 78.61 ක් එනම් +1.09%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

මෙහිදී පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව කාර්ගිල්ස් සිලෝන් පීඑල්සී, ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී,  එන්ඩීබී බැංකුව, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී, හේලීස් පීඑල්සී, රේනුකා හෝල්ඩිංග්ස් පීඑල්සී, රෝයල් සෙරමික් ලංකා පීඑල්සී යන සමාගම් තුළ සිදු වූ ගනුදෙනු දිනයේ පිරිවැටුම සඳහා 8%ක දායකත්වයක් ලබා දී තිබේ.

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 100ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 97ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ කමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (+16.05), එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+12.07), කාර්ගිල්ස් සිලෝන් පීඑල්සී CARG (+10.15),  බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (+9.86), එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී LOFC (+9.61),  ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (-12.82),  සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී CTC (-6.64),  සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පීඑල්සී  CINS (-5.76), ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී DIST (-5.26), නෙස්ලේ ලංකා පීඑල්සී NEST (-4.58)

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,742.41 ක අගයක් ගත් අතර, එය ඊයේ (ජනවාරි 11) දිනයට සාපේක්ෂව ඒකක 11.56 ක එනම් +0.42%ක ඉහළ යාමක් වාර්තා කිරීමට සමත්ව තිබේ.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 8.59ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (ජනවාරි 11දා) වාර්තා කළ රුපියල් බිලියන 7.76ට සාපේක්ෂව 11% ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.18 ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 7.52%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 162.28ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 221.04ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායෑම්හි වටිනාකම රුපියල් මිලියන 58.75කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 1.21ක් ලෙස සටහන්ව තිබේ.

දිනය තුළ විදේශයන්හි සිට විදේශයන් දක්වා සිදු වූ ගනුදෙනුවල වටිනාකම රුපියල් මිලියන 85.64කි.  

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය පිරාමාල් ග්ලාස් සිලෝන් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 20.47කි. එසේම හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සි විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 41.83ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල්  මිලියන 3,054ක් සඳහා ආහාර, පානවර්ග සහ දුම්කොළ නිෂ්පාදන අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 36% ක අගයක් ගෙන තිබේ. බැංකු සහ ප්‍රවාහන අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 1,512ක සහ රුපියල් මිලියන 1,217ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 212