අජිත් නිවාඩ් කබ්රාල්ගේ පුත් චතුර රේනුකා සිටි හොටෙල්ස් පීඑල්සී අධ්‍යක්ෂ මණ්ඩලයට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගමක් වන රේනුකා සිටි හොටෙල්ස් පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස චතුර වී කබ්රාල් මහතා පත් කෙරී ඇතැයි එම සමාගමේ අධ්‍යක්ෂ  මණ්ඩලය නිවේදනය කර සිටියි.

2021 ජනවාරි 13 වැනිදා එනම් අද දිනයේ සිට මෙම නව පත් කිරීම සිදු කෙරී තිබේ. එහිදී සමාගමේ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස චතුර කබ්රාල් මහතා පත්වීම් ලැබ තිබේ.

මේ අතර අධ්‍යක්ෂ  මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත්වීම් ලබන දිනය වනවිට ඒ මහතා වෙත රේනුකා සිටි හොටෙල්ස් පීඑල්සී සමාගමේ කිසිදු කොටස් හිමිකාරීත්වයක් නොමැති බවත් සමාගම වැඩිදුරටත් පවසා සිටියි.

ඒ මහතා වත්මන් රජයේ මුදල්, ප්‍රාග්ධන වෙළෙඳ පොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ පුත්‍රයාද වෙයි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ විද්‍යා සහ තාක්ෂණවේදව පිළිබඳ මිසූරි විශ්වවිද්‍යාලයෙන් යාන්ත්‍රික ඉංජිනේරුවිද්‍යාව පිළිබඳ උපාධිය හිමි කර ගෙන ඇති චතුර කබ්රාල් මහතා මේ වනවිට කොළඹ වරාය නගර පෞද්ගලික සමාගමේ කළමනාකරුවෙකු ලෙසද කටයුතු කරයි. එසේම ඒ මහතා මේ වනවිට අපනයන සංවර්ධන මණ්ඩලයේද අධ්‍යක්ෂවරයෙකු ලෙස ධුරය දරයි.

මීට පෙර චතුර කබ්රාල් මහතා කැලනි වැලි ප්ලාන්ටේෂන්ස් පීඑල්සී, The Fortress Resort and Spa PLC සහ වැලිබල් පවර් එරත්න පීඑල්සී යන සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසද කටයුතු කර තිබේ. එසේම හේලීස්  එම්ජීටී නිටිං මිල්ස් පීඑල්සී සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙසද ඒ මහතා කටයුතු කර ඇත.

මීට අමතරව චතුර කබ්රාල් මහතා බ්‍රැන්ඩික්ස් ආයතනයේද රැකියාව කර ඇති අතර ජෝන් කීල්ස් හොටෙල් මැනේජ්මන්ට් සර්විසස් සමාගමේ පුහුණු කළමනාකරුවෙකු ලෙසද පුහුණුව ලබා ඇත. ඒ මහතා ශාන්ත පීතර් විද්‍යාලයේ සහ කොළඹ බ්‍රිටිෂ් ස්කූල්හිද ආදි සිසුවෙකු වෙයි.

Visits: 822