IFC වෙතින් සන්ෂයින් හෝල්ඩිංග්ස් වෙත ඩොලර් මිලියන 7ක ණයක් අනුමත වෙයි

ලෝක බැංකු සමූහයට අයත් ජාත්‍යන්තර මූල්‍ය සමායතනය (IFC) මගින් ශ්‍රී ලංකාවේ සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම වෙත ඩොලර් මිලියන 7ක ණයක් අනුමත කර ඇතැයි පවසයි. මෙරට රසකැවිලි නිෂ්පාදන සමාගමක් වන ඩේන්ටී සමාගම අත්පත් කරගැනීම මෙන්ම වහළ මත සවි කරන සූර්ය පැනල ව්‍යාපෘතියක් වෙනුවෙන් මෙම මුදල් වෙන් කෙරී ඇත.

IFC ආයතනය සහ සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී යන සමාගම්වලට අනුව පසුගිය දෙසැම්බර් 10 වැනිදා IFC හි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අදාළ ණය මුදල අනුමත කර තිබෙන බව මේ පිළිබඳ වාර්තාවක් ගෙන එන අද පළ වූ ඩේලිමිරර් පුවත්පත පවසයි.

මෙම මුදල් අතරින් ඩොලර් මිලියන 5ක මුදලක් සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සීහි උප-පරිපාලිත සමාගමක් වන වටවල සිලෝන් ටී සමාගම වෙත  හිමිවන අතර ඒ හරහා මෙරට රසකැවිලි වෙළෙඳපොළ ප්‍රමුඛයා වූ ඩේන්ටී ලිමිටඩ් සමාගම අත්පත් කරගැනීම සිදු වෙයි.

පසුගිය වසරේදී වටවල ටී සිලෝන් ලිමිටඩ් සමාගම ඩේන්ටී ලිමිටඩ් සමාගමේ වත්මන් කොටස්  හිමිකරුවන් සමගින් කොස් අලෙවි කිරීමේ සහ මිලදී ගැනීමේ එකඟතාවකට පිවිසි අතර, එහිදී සමාගමේ කොස් 100෴ක ප්‍රතිශතයක් රුපියල් බිලියන 1.7ක මුදලකට මිලදී ගැනීමට එකඟ විය.

මේ අතර IFC මගින් හිමිවන ඉතිරි ඩොලර් මිලියන 2ක මුදල සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සීහි පරිපාලිත සමාගමක් වන සන්ෂයින් එනර්ජි සහ එහි පරිපාලිත සමාගමක් වන ස්කයි සෝලාර් සමාගම වෙත සිය වහළ මත සවි කරන සූර්ය පැනල ව්‍යාපෘති පුළුල් කිරීම සඳහා යෙදවීමට සැලසුම වී ඇතැයිද පුවත්පත පවසයි.

2012 වසරේදී පිහිටවුණු සන්ෂයින් එනර්ජි සමාගම සතුව මේවනවිට කුඩා ප්‍රමාණයේ ජලවිදුලි බලාගාර තුනක් ක්‍රියාත්මකව පවතින අතර ඒ හරහා ජාතික පද්ධතිය වෙත ලබා දෙන විදුලියේ ප්‍රමාණය මෙගාවොට් 6.65 කි.  ස්කයි සෝලාර් සමාගම 2017 වසරේදී පිහිටුවා ඇති අතර එම සමාගම මේ වනවිට වහල මත සවිකරන සූර්ය පැනල ව්‍යාපෘති යටතේ මෙගාවොට් 1ක ධාරිතාවක් උත්පාදනය ට සමත්ව සිටියි.

මෙලෙස අනුමත කෙරුණු ණය මුදල යොදා ගෙන සිදු කරන කටයුතු සම්බන්ධයෙන් විමර්ෂණය සඳහා IFC හි නියෝජිතයන් පිරිසක් සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී වෙත පැමිණීමට නියමිත අතර කොවිඩ්-19 නිසා දැනට පනවා ඇති සංචාරක තහනම ඉදිරියේදී ලිහිල් වීමත් සමගම ඔවුන් මෙරට සංචාරය කිරීමට බලාපොරොත්තුව සිටින බවත් පුවත්පත වැඩිදුරත් සඳහන් කර සිටියි.

Visits: 488