චීනයේ ඉහළම කොවිඩ් එන්නත මෙරටට ගෙන්වීමට සාකච්ඡා

කොවිඩ් – 19 වයිරසයට එරෙහි චීනය මගින් නිපදවූ එන්නතක් ශ්‍රී ලංකාව වෙත ලබා ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධ සාකච්ඡා ආරම්භ වී ඇතැයි චීන තානාපති කාර්යාලය උපුටා දක්වන චීන මාධ්‍ය පවසයි. මේ සඳහා වූ විශේෂ සාකච්ඡාවක් චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන සහ චීනයේ වාණිජ අමාත්‍යාංශයේ සාමාජිකයන් අතර පසුගියදා පවත්වා තිබේ.

කොළඹ චීන තානාපති කාර්යාල ආරංචි මාර්ග අනුව, චීනය කොවිඩ් වයිරසයට එරෙහිව අත්හදා බලමින් සිටින ප්‍රමුඛතම එන්නත නිපදවා ඇති සිනොවැක් බයෝටෙක් (Sinovac Biotech)  සමාගමේ නියෝජිතයන්ද මෙම සාකච්ඡාවට එක්ව තිබේ. එන්නත ශ්‍රී ලංකාවට ලබා ගැනීමේ ක්‍රියාවලිය සහ එන්නතෙහි වර්තමාන තත්ත්වය පිළිබඳව මෙහි දී දීර්ඝ ලෙස සාකච්ඡාවූ බව චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.

සිය කොවිඩ් එන්නත පිළිබඳව ඉන්දුනීසියාව ආශ්‍රිතව කළ අවසන් අත්හදා බැලීම්වලදී 97%ක සාර්ථකත්වයක් අත් කරගෙන ඇති බවද සිනොවැක්ස් බයෝටෙක් සමාගම පසුගිය දෙසැම්බර් දෙවැනි සතියේ නිවේදනය කර තිබුණි.

එන්නතේ අවසන් සායනික පරීක්ෂණ පිළිබඳ වාර්තා චීන රජය මෙතෙක් නිලවශයෙන් නිකුත් කර නැති නමුත් එම එන්නත මේ වන විටත් හදිසි භාවිතය උදෙසා චීනය පුරා බෙදා හැර තිබේ.

Visits: 249