වටනාබේ සහෝදරයෝ Asia Capital PLC හි සිය කොටස් විකුණා දමති

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත Asia Capital PLC සමාගමෙහි කොටස්හිමිකරුවන් වූ ජපානයේ වටනාබේ සහෝදරයන් සිය කොටස් අලෙවි කර දමා ඇතැයි එම සමාගම මගින් ඊයේ අනාවරණය කෙරිණි. හොංකොංහි පිහිටි ෆාස්ට් ගේන් ඉන්ටර්නැෂනල් ලිමිටඩ් සමාගම වෙත මෙම කොටස් අලෙවි කර ඇත.

මෙහිදී දෙදෙනා සතුවම තිබූ සමාගමේ 16.24% ක කොටස් ප්‍රතිශතයක් හොංකොංහි ෆාස්ට් ගේන් ඉන්ටර්නැෂනල් ලිමිටඩ් සමාගම වෙත අලෙවි කර තිබේ. ඒ අනුව සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කළ යොෂිමිචි වටානාබේ සතුව තිබූ කොටස් 11.539,353ක් අලෙවි කර තිබේ. එය 8.79%ක ප්‍රතිශතයකි. එහිදී  එක් කොටසක් රුපියල් 7.50කට අලෙවි වී ඇති අතර, ගනුදෙනුවේ වටිනාකම රුපියල් 86,545,147.5 කි.

එසේම කොටස් හිමිකරුවෙකු වන එයිජි වටනාබේ තමන් සතුව තිබූ Asia Capital PLC හි කොටස් 9,790,642ක් අලෙවි කර ඇත. එය 7.45%ක ප්‍රතිශතයකි. මෙහිදී කොටසක් රුපියල් 7.50කට අලෙවි කර ඇති අතර ගනුදෙනුවේ වටිනාකම රුපියල් 73,429,815 කි.

ඒ අනුව මෙහිදී සිදුව ඇති සමස්ත ගනුදෙනුවේ වටිනාකම රුපියල් මිලියන 160කි (159,974,962.5) කි.

වටනාබේ සහෝදරයන් අලෙවි කළ මෙම කොටස් මිලදී ගත් ෆාස්ට් ගේන් සමාගම Asia Capital PLC හි සිව්වැනි විශාලතම කොටස්  හිමිකරුවා ලෙස සඳහන්ව තිබුණි. එහෙත් මෙම ගනුදෙනුවෙන් පසු ඔවුන් සතු කොටස් ප්‍රතිශතය 5.17% සිට 21.41% ක ප්‍රතිශතයක් දක්වා ඉහළ නැග තිබේ. ඒ අනුව එම සමාගම මේ වනවිට Asia Capital PLC හි දෙවැනි විශාලතම කොටස් හිමිකරුවා බවට පත්ව තිබේ.

ජපානයේ ආයෝජකයන් වන ‍යොෂිමිචි වටනාබේ සහ එයිජි වටනාබේ සහෝදරයන් දෙපළ 2014 වසරේදී රුපියල් මිලියන 400ක  ආයෝජනයක් සිදු කරමින් මෙලෙස Asia Capital PLC සමාගම හා සම්බන්ධ විය. මෙම ආයෝජනයත් සමගින්ම වටනාබේ සහෝදරයන් සමාගමේ දෙවැනි සහ තෙවැනි වැඩිම කොටස් හිමිකරුවන් බවටද පත්විය.

Asia Capital PLC සමාගම ආයෝජන බැංකුකකරණ, ලෙෂර්, ව්‍යාපෘති කළමනාකරණය, උපදේශන සේවා, දේපළ වෙළෙඳාම් කළමනාකරණය, වත්කම් කළමනාකරණය, තොරතුරු තාක්ෂණික සේවා ඇතුළු සේවා සම්පාදනයේ යෙදෙයි.

Visits: 602