අලුතින් පිහිටවුණු LOLC Ceylon Holdings හි අරමුණු මෙන්න

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගමක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම සිය සමූහය යටතේ පවතින මූල්‍ය සමාගම් වෙත අවශ්‍ය විදේශ ආයෝජන විශාල ප්‍රමාණයක් ආකර්ෂණය සඳහා නව වේදිකාවක් නිර්මාණය කිරීමට කටයුතු යොදා ඇතැයි පවසයි.

ඒ අනුව LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ පූර්ණ හිමිකාරීත්වය යටතේ දැනටමත් මේ සඳහා LOLC සිලෝන් හෝල්ඩිංග්ස් ලිමිටඩ් (LOLC Ceylon) නමින් සමාගමක් පිහිටුවා ඇතැයි එම සමාගම අද දිනයේදී කරුණු අනාවරණය කර සිටියි.

‘ඉකොනොමි ඇන්ඩ් බිස්නස් ශ්‍රී ලංකා’ වෙබ් අඩවිය මේ පිළිබඳව පසුගිය දෙසැම්බර් 27 වැනිදා කරුණු අනාවරණය කර තිබුණි. LOLC සිලෝන් ප්‍රොපර්ටි හෝල්ඩිංග්ස් ලෙස නව සමාගමක්?

මෙලෙස LOLC Ceylon නමින් නව සමාගමක් පිහිටුවීමට හේතුව සිය සමූහය මගින් පිහිටුවා ඇති මූල්‍ය සමාගම් වෙත විදේශීය ආයෝජකයන් ආකර්ෂණය කරගැනීම බව LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම පවසයි.

ඒ සඳහා වන LOLC සමූහයේ ගෝලීය ක්‍රමෝපායික සැලසුමක් ලෙස මෙම නව සමාගම පිහිටුවා තිබේ. ඒ හරහා හැකියාව ඇති ආයෝජකයන්ට එම සමාගම්හි සුළු කොටස් ප්‍රමාණයක් අත්පත් කරගත හැකි ලෙස අවස්ථාව සලසා දීම අරමුණ වී තිබේ.

ඒ අනුව මෙම අවස්ථාව හරහා වැඩි ප්‍රමාණයක විදේශ ආයෝජකයන් සංඛ්‍යාවක් ආකර්ශනය කරගත හැකි වෙනු ඇති බවත්, එය තම සමාගම්වල වර්ධනය සඳහා දායක කරගත හැකි බවත් LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ අදහස වී තිබේ.

එසේම එය සිය පාරිභෝගිකයන් වෙත නව තාක්ෂණික පහසුකස් හඳන්වාදීමටත්, සිය සේවකයන් වෙත උසස් මට්ටමේ පුහුණුවක් ලබාදීමටත් හැකියාව උදාකරනු ඇතැයිද එම සමාගම සඳහන් කරයි.

මේ අතර, අලුතින් පිහිටවුණු මෙම LOLC සිලෝන් හෝල්ඩිංග්ස් ලිමිටඩ් සමාගම ඉදිරියේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගමක් බවට පත් කිරීමටද සැලසුම් කර තිබේ.

ඒ අනුව මෙම ලැයිස්තුගත කිරීමේදී ඊට පෙරාතුව LOLC ෆිනෑන්ස් පීඑල්සී සතු  44.79%ක කොටස් ප්‍රතිශතයක්, කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම සතුව ඇති 98.92%ක කොටස් ප්‍රතිශතයක් මෙන්ම LOLC  ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ ඇති 55.55%ක කොටස් ප්‍රතිශයක් ඉදිරියේදී LOLC Ceylon සමාගම වෙත හුවමාරු කිරීමටද සැලසුම් කර ඇතැයි LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී වැඩිදුරටත් සඳහන් කරයි.

මෙහිදී අදාළ හුවමාරුව සමූහයේ අභ්‍යන්තරව සිදු කෙරෙන කටයුත්තක් වන බවත්, ඊට අදාළ ගනුදෙනුව කොළඹ කොටස් හුවමාරුවෙන් පිටතදී සිදුවන බවත් පවසයි.  එසේම එම කොටස් හුවමාරුව දිනය සිදුවන දිනය වනවිට පවතින කොටසක වෙළෙඳපොළ වටිනාකම් වෙතද මෙය බලපාන බවත් සමාගම පවසයි.

ඒ අනුව මෙම කොටස් හුවමාරුව සම්බන්ධයෙන් කොළඹ කොටස් හුවමාරුවෙහි නියාමකයා වන සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ අනුමැතිය බලාපොරොත්තුවන බවත් LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම පවසයි.

එසේම දැනටමත් ශ්‍රී ලංකා මහ බැංකුවෙහි බැංකු නොවන මූල්‍ය ආයතන නියාමන දෙපාර්තමේන්තුව මෙම යෝජිත කොටස් හුවමරුව සඳහා කිසිදු විරෝධතාවක් නොදක්වා ඇතැයිද LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Visits: 913