ඉදිරි වසර තුනට ප්‍රංශයෙන් යූරෝ මිලියන 400ක ණය සහ තාක්ෂණික සහාය

ප්‍රංශය මගින් ශ්‍රී ලංකාව වෙත ඉදිරි වසර තුනක කාලයේදී යූරෝ මිලියන 400ක් වටිනා ණය සහ තාක්ෂණික සහාය ලබා දෙන බව සංවර්ධනය සඳහා වූ ශ්‍රී ලංකා ප්‍රංශ ආයතනය (AFD Group) හි මෙරට අධ්‍යක්ෂ රෙඩා සොයුර්ගි පවසයි.

පසුගියදා මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා කොළඹදී පැවැත් වූ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කර තිබේ. ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලැවෙර්ටුගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව පැවැත්වුණි. ඒ අනුව ප්‍රධානවම මෙරට ධීවර, හරිත බලශක්තිය, වාරිමාර්ග සහ තේ නිෂ්පාදනය යන අංශ සඳහා මෙම ණය සහ තාක්ෂණික සහාය ලබා දීමට ප්‍රංශය සූදානමින් සිටියි.

AFD හි මෙරට ප්‍රධානියා පවසන ආකාරයට ශ්‍රී ලංකාව වෙත ලබා දීමට යෝජිත ණය කළඹ තුළ මෙරට ප්‍රධාන පෙළේ බැංකු හරහා සුළු හා මධ්‍ය පරිමාණ මෙන්ම ක්ෂුද්‍ර ව්‍යවසායන්ගේ සංවර්ධනය සඳහා ලබා දෙන යූරෝ මිලියන 270ක්ද ඇතුළත්ව තිබේ. මෘදු ණය ලෙස ලබා දෙන මෙම ණය මුදල් සඳහා වන පොලිය 2%කටත් අඩු බව පවසයි. එසේම වසර 7ක සහන කාලයක්ද මේ සඳහා හිමිව ඇති අතර ආපසු ගෙවීමේ කාලසීමාව වසර 25 කි.

මෙම AFD ආයතනය ශ්‍රී ලංකාව තුළ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා වර්ධනයේ ප්‍රධාන පෙළේ සමූහයක් ලෙස හඳනාගෙන තිබේ. පසුගිය වසර 10ක කාලය තුළදී එම ආයතනය මගින් ශ්‍රී ලංකා වෙත එක්සත් ජනපද ඩොලර් බිලියනයකට වඩා අධික මූල්‍ය පහසුකම් අනුමත කර තිබේ. විශේෂයෙන්ම ධීවර කර්මාන්තය කෙරෙහි ඔවුන් වැඩි උනන්දුවක් දක්වයි.

“ශ්‍රී ලංකාවේ සිටින ලක්ෂ හයක් පමණ වන ධීවර කර්මාන්තය නිසා යැපෙන පිරිස සඳහා වඩාත් ඉහළ ආදායමක් සහ තිරසාර රැකියාවක් සුරක්ෂිත කිරීම සඳහා නිෂ්පාදනවල ගුණාත්මකබව ඉහළ නැංවීම අනිවාර්යයි. ඒ වගේම මෙම ක්ෂේත්‍රය තුළ කාන්තාවන්ගේ වැඩි දායකත්වයක් දැකීමටත් අප කැමතියි.” AFD හි මෙරට අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පවසා ඇත.

මෙහිදී අදහස් දක්වා ඇති ප්‍රංශ තානාපති එරික් ලවෙර්ටු මහතා, ශ්‍රී ලංකාව මෙතෙක් ප්‍රංශයෙන් ලබා ගෙන ඇති ණය ආධාර ආපසු ගෙවීමේ කිසිදු පමාවක් සිදු කර නොමැති බවත්, ඒ නිසා ශ්‍රී ලංකාව වෙත තවදුරටත් ආධාර ලබා දීමට ප්‍රංශය කැමැත්තෙන් සිටින බවත් පවසා තිබේ.

මේ අතර ශ්‍රී ලංකාව ඉදිරියේදීවත් වඩාත් යහපත් පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයක් පිළිබඳව ආපසු කල්පනා කළ යුතු බව පවසන තානාපතිවරයා ඉන්දියාවේ මෙට්‍රෝ දුම්රිය පද්ධතිය හා සමාන ක්‍රමවේදයක් මෙන්ම හරිද බලශක්තිය වෙත යොමුවීමක් සිදු කළ යුතුව ඇතැයි  පවසා තිබේ. එහිදී ඉන්දියාව සතුව අද වනවිට සූර්ය බලශක්තිය මෙන්ම ඉලෙක්ට්‍රොනික ත්‍රීරෝද රථ පවතින බවත් ශ්‍රී ලංකා රජයද මෙම අංශ පිළිබඳව අවධානය යොමු කළ යුතුව ඇති බවත් තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

Visits: 153