තරුණ ව්‍යවසායක කුසලතා ප්‍රවර්ධනයට සොෆ්ට්ලොජික් ලයිෆ් ඉදිරි පියවරක් තබයි

ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම මෙරට සිසුන් හා තරුණ ප‍්‍රජාව අතර ව්‍යවසායකත්ව කුසලතා ප‍්‍රවර්ධනය කිරීමේ අරමුණින් Entrepreneur Organisation Sri Lanka (EO) සහ Global Student Entrepreneur Awards (GSEA) සමඟ අද්විතීය හවුල්කාරීත්වයකට එළැඹි බව නිවේදනය කර සිටියි.

රටේ ආර්ථික සංවර්ධනයට මෙන්ම ප‍්‍රජාවගේ සුභ සිද්ධිය උදෙසා අංකුර ව්‍යවසායකයින් (startups) වැදගත් කාර්යයභාරයක් ඉටු කරමින් සිටින මෙම නව සාමාන්‍ය තත්වය තුළ දිවයින පුරා සිටින තරුණ ව්‍යවසායකයින්ගේ සිහින යතාර්ථයක් බවට පත් කිරීමට හා වැඩි වශයෙන් නවෝත්පාදනයන් සඳහා පෙළෙඹ වීම තුළින් සියලූ ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත නගා සිටුවීම සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගමේ අරමුණයි.

1987 දී ආරම්භ කළ EO Sri Lanka යනු ලොව පුරා සිටින ශිෂ්‍ය ව්‍යවසායකයින්, ආයෝජකයින් හා මානව සම්පත් වැනි සමාන අදහස් දරණ තරුණ නායක නායිකාවන් 14,000කට වැඩි සංඛ්‍යාවකගෙන් සැදුම්ලත් ජාත්‍යන්තර මට්ටමේ පුළුල් ජාලයක් වන අතර ජීවිතය සාර්ථක කරගැනීමට සබඳතා වර්ධනය කරගැනීම, අත්දැකීම් බෙදාහදා ගැනීම සහ සහයෝගයෙන් කටයුතු කිරීම තුළින් ව්‍යවසායකයින්ට ඔවුන්ගේ ව්‍යාපාර වැඩිදියුණු කරගැනීමට අවශ්‍ය සහාය ලබා දෙයි. පසුව EO Sri Lanka විසින් අධිෂ්ඨානයෙන් යුත් තරුණ ව්‍යවසායකයින් වෙනුවෙන් ඔවුන්ගේ ව්‍යාපාරය ගෝලීය වශයෙන් පිළිගත් ව්‍යාපාරයක් බවට පත් කිරීමට යන ඉදිරි ගමනට අවශ්‍ය මූල්‍ය ශක්තිය ලබා දීම සඳහා Global Student Entrepreneur Awards (GSEA) යන වැඩසටහන ආරම්භ කළේය.

මෙම නව හවුල්කාරීත්වය පිළිබඳ අදහස් දක්වන සොෆ්ට්ලොජික් ලයිෆ් කළමනාකාර අධ්‍යක්ෂ ඉෆ්තිකාර් අහමඞ් මහතා ‘‘අපගේ ආර්ථික වර්ධනය සඳහා අංකුර ව්‍යවසායකයින් සුවිශේෂී කාර්යභාරයක් සිදු කරන අංශයක් ලෙස පැහැදිලිවම පෙන්වා දිය හැකියි. වත්මන් පසුබිම තුළ රැකියා උත්පාදනය කිරීම ප‍්‍රමුඛතාවක් බවට පත්ව ඇති අතර තරුණ ව්‍යවසායකයින් සතු නිර්මාණශීලීත්වය හා ශක්තිය උපයෝගී කර ගනිමින් රටේ ආර්ථික වර්ධනයට ඔවුන්ගේ දායකත්වය ලබා ගැනීමට අප උපරිමයෙන් උත්සාහ කළ යුතුයි. ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් මෙවැනි නිර්මාණශීලි නවෝත්පාදකයින්ගේ සිහින හඹා යාමට ඔවුන්ට උපකාර කිරීම අපගේ වගකීම යැයි අප විශ්වාස කරනවා. එබැවින් ශ්‍රී ලංකාවේ තරුණ ව්‍යවසායකයින්ට සහය දක්වන ශක්තිමත් නව සංස්කෘතියක් ඇති කිරීමට EO Sri Lanka සහ GSEA සමඟ එක් වීමට ලැබීම වරප‍්‍රසායක් කොට අප සලකනවා’’ යනුවෙන් පැවසුවේය.

මෙම ත්‍රෛපාර්ශ්වීය හවුල මගින් මේ ආකාරයේ වැඩසටහන්වලට සහය දැක්වීම පිණිස ‘ශ්‍රී ලංකාවේ නව පරම්පරාවේ ව්‍යවසායකයෝ (‘Sri Lanka’s Next Generation of Entrepreneurs) නමින් ෆේස්බුක් පිටුවක් ද දියත් කර ඇත.

’‘අපගේ තරුණ ව්‍යවසායකයින් ශක්තිමත් කරමින් ඔවුන්ගේ කුසලතා ජාත්‍යන්තර තලයට ගෙන යාමේ අරමුණ පෙරදැරිව EO Sri Lanka සහ GSEA යන වැඩසටහන් අප හඳුන්වා දෙනු ලැබුවා. සමාජයේ සැබෑ වටිනාකම් නිර්මාණය කිරීමට හා නව ආදර්ශයන් හඳුන්වා දීම අරමුණු කරගත් නව්‍ය විසඳුම් පුළුල් කිරීම සඳහා වසර ගණනාවක් තිස්සේ කටයුතු කරන තරුණ ව්‍යවසායකයින්ගේ නොපසු බස්නා උත්සාහය හා අධිෂ්ඨානය දැක ගැනීමට ලැබීම සැබවින්ම සතුටක්. විශේෂයෙන්ම මෙවැනි අවස්ථාවකදී ඔරොත්තු දිය හැකි පරිදි සමස්ත ආර්ථික වර්ධනය වේගවත් කිරීමට ව්‍යවසායකයින්ට සහාය ලබා දිය යුතුයි. එනිසා ශ්‍රී ලංකාවේ සංවර්ධනයට විශාල දායකත්වයක් ලබා දෙන සොෆ්ට්ලොජික් ලයිෆ් වැනි සමාගමක් සමඟ එකතු වීමට ලැබීම අපගේ මෙම ප‍්‍රයත්නය තවත් පියවරකින් ඉදිරියට ගෙන යාමට අපට උපකාරී වනු ඇතැයි අප විශ්වාස කරනවා.’’ යනුවෙන් EO Sri Lanka සභාපති රේවන්ත දේවසුරේන්ද්‍ර මහතා පැවසුවේය.

Visits: 90