හේමාස් සමූහයේ සෙරෙන්ඩිබ් හොටෙල් සමාගම LOLC සමූහය මගින් මිලදී ගනී

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගමක් වන හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහයේ ආගන්තුක සත්කාර අංශයට අයත්ව තිබූ සෙරෙන්ඩිබ් හොටෙල් පීඑල්සී සමාගම මිලදී ගැනීමට LOLC සමූහය අද දිනයේදී පියවර ගෙන ඇතැයි පවසයි. මෙහිදී රුපියල් මිලියන 791ක මුදලකට මෙම ගනුදෙනුව සිදුව තිබේ.

LOLC සමූහය යටතේ පවතින බ්‍රවුන්ස් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් සමාගමේ ඊඩ්න් හොටෙල්ස් පීඑල්සී සමාගම විසින් මෙම මිලදී ගැනීම සිදු කර තිබේ. සෙරෙන්ඩිබ් හොටෙල්ස් පීඑල්සී සමාගමද කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගමකි.

මේ සම්බන්ධයෙන් හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම කොළඹ කොටස් හුවමාරුව වෙත අද දිනයේදී දැනුම් දී තිබෙන අතර සිය අධ්‍යක්ෂ මණ්ඩලය මගින් මෙම දැනුවත් කිරීම සිදු කරන බවත් පවසා සිටියි. ඒ අනුව හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම 2020 දෙසැම්බර් 15 වැනිදා සිට සෙරෙන්ඩිබ් හොටෙල්ස් පීඑල්සීහි හිමිකාරීත්වය සම්පූර්ණයෙන්ම අත්හරින බවත් සඳහන් කර තිබේ.

හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම පවසන ආකාරයට මෙහිදී සෙරෙන්ඩිබ් හෝටලයෙහි සිය සමාගම සතු වූ සාමාන්‍ය ඡන්ද  හිමි කොටස් 42,802,738ක් එනම් 56.68%ක ප්‍රතිශතයක් මෙලෙස අලෙවි කර ඇත. එහිදී එක් කොටසක් රුපියල් 14.20 බැගින් අලෙවි වී ඇති අතර, ගනුදෙනුවේ සමස්ත වටිනාකම රුපියල් 607,987,329 කි.

එසේම සමාගම සතුව තිබූ සාමාන්‍ය නිෂ්ඡන්ද කොටස් 19,258,477ක් එනම් 53.48%ක ප්‍රතිශතයක් කොටසක් රුපියල් 9.60 බැගින් රුපියල් මිලියන 185ක (184,881,379ක) මුදලකටද අලෙවි කර ඇත.

ඒ අනුව මෙම සමස්ත කොටස් ප්‍රමාණයද LOLC සමූහය යටතේ පවතින බ්‍රවුන්ස් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් සමාගමේ ඊඩ්න් හොටෙල්ස් පීඑල්සී සමාගමේ ඊඩ්න් රිසෝට් ඇන්ඩ් ස්පා විසින් මිලදී ගෙන ඇති අතර සමස්ත මිලදී ගැනීමේ වටිනාකම රුපියල් මිලියන 791ක් (791,723,136ක්) ලෙස සටහන් වෙයි.

මෙම සෙරෙන්ඩිබ් හොටේල්ස් පීඑල්සී සමාගමේ මෙහෙයුම් හේමාස් සමූහය යටතේ පැවැති සෙරෙන්ඩිබ් ලෙෂර් මැනේජ්මන්ට් පෞද්ගලික සමාගම මගින් ක්‍රියාත්මක විය. අවානි බෙන්තොට රිසෝර්ට්, අවානි කලුතර රිසෝර්ට්, ක්ලබ් හොටෙල් ඩොල්ෆින් හේමාස් සමූහය යටතේ පැවතුණි. මීට අමතරව හොටෙල් සීගිරිය, ක්ලබ් හොටෙල් ඩොල්ෆින් යන හෝටල්ද සෙරෙන්ඩිබ් ලෙෂර් යටතේ ක්‍රියාත්මක විය.

මේ අතර මෙලෙස සෙරෙන්ඩිබ් ලෙෂර් යටතේ පැවැති හෝටල් සියල්ලම 2021 ජනවාරි 31 වැනිදා දක්වා තාවකාලිකව වසා දමා ඇතැයි මීට පෙර නිවේදනය කර තිබුණි.

Visits: 395