වසර තුනකට පසු කොටස් හුවමාරුව ඉහළම අගයකට

අද දිනයේදී (දෙසැ 10) කොළඹ කොටස් හුවමාරුවේ සිදු වූ ගනුදෙනුවලදී විදේශීය ආයෝජකයන් තුළ මෙන්ම දේශීය ආයෝජකයන් තුළත් වටිනා සමාගම්වල කොටස් මිලදී ගැනීමේ උනන්දුවත් සමගින්ම ඒවායේ මිල ඉහළයාම සමස්ත කොටස් මිල දර්ශකය ඉහළ යාමට හේතු වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී කොළඹ කොටස්  හුවමාරුව වසර තුනක් තුළ ළගා කරගත්  ඉහළම අගයටද ඊයේ දිනයේ පත් වූ බව එම සමාගම් සඳහන් කරයි.  

ඒ අනුව මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේදී ඒකක 6,590.25ත් ඒකක 6,635.74ත් අතර අගයක විචලනයක් පෙන්වීය. එහිදී දිනය නිමා වනවිට එය ඒකක 6,609.39 ක් බවට පත්විය. ඊයේ (දෙසැම්බර් 09) දිනයට සාපේක්ෂව එය ඒකක 4.30 ක් එනම් +0.07%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

මෙහිදී පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව අබාන්ස් ඉලෙක්ට්‍රිකල් පීඑල්සී, හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී, සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී සහ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සිදු කළ ගනුදෙනු දිනයේ පිරිවැටුම සඳහා 3%ක දායකත්වයක් ලබා දී තිබේ.

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 84ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 109ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+5.37), නෙස්ලේ ලංකා පීඑල්සී NEST (+3.26),  සීටී හෝල්ඩිංග්ස් පීඑල්සී CTHR (+2.63),  ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (+2.41),  ඊබීක්‍රීසි ඇන්ඩ් කම්පැනි පීඑල්සී EBCR (+2.29),  බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (-3.29), හැටන් නැෂනල් බැංකුව HNB (-2.25), සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී CCS (-1.96), ඩයලොග් ආසිආටා පීඑල්සී DIAL (-1.87), සම්පත් බැංකුව SAMP (-1.48)

එහෙත් ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,628.49 ක අගයක් ගත් අතර, එය ඊයේ (දෙසැම්බර් 09) දිනයට සාපේක්ෂව ඒකක 13.23 ක එනම් -0.50%ක පහළ යාමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 3.88ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (දෙසැ 09දා) වාර්තා කළ රුපියල් බිලියන 5.29ට සාපේක්ෂව 27% ක පහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.89ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 1.30%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 279.34ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 716.71 ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 437.38කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 49.77ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 33.74කි. එසේම සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සි විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 425.14ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් බිලියන 1.46ක් සඳහා ආහාර, පානවර්ග සහ දුම්කොළ දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 38% ක අගයක් ගෙන තිබේ. ප්‍රාග්ධන භාණ්ඩ සහ රක්ෂණ අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල්  මිලියන 654ක සහ රුපියල් මිලියන 490ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 172