වට්ස්ඇප් සහ ඉන්ස්ටග්‍රෑම් අත්හරින ලෙස ෆේස්බුක් වෙත බලපෑම්?

ෆේස්බුක් ඉන්කෝපරේෂන් සමාගම සතු වට්ස්ඇප් සහ ඉන්ස්ටග්‍රෑම් යන සමාගම්වල හිමිකාරීත්වය අත්හැර දමන ලෙස එම සමාගමට බලපෑම් එල්ල වීමේ අවස්ථාවක් උදා වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. මෙම සමාජ මාධ්‍ය සමාගමට එරෙහිව එරට ෆෙඩරල් වෙළෙඳ කොමිෂම සහ එරට සෑම ප්‍රාන්තයක් වෙතින්ම නඩු ගොනු කර තිබීම මීට හේතුව වී තිබේ.

ෆේස්බුක් සමාගම සිය සමාජ මාධ්‍ය ආධිපත්‍ය යොදා ගනිමින් සිය ප්‍රතිවාදී සහ කුඩා පරිමාණ තරගකාරී සමාගම් පාගා දැමීමක් සිදු කරමින් සිටින බව සමාගමට එරෙහිව එල්ල වී ඇති චෝදනා අතර පවතී. ඒ අනුව චෝදනාවලට පිළිතුර ලෙස ෆේස්බුක් සමාගමට වට්ස්ඇප් සහ ඉන්ටග්‍රෑම් මෙහෙයුම් අලෙවි කර දැමීමට සිදු වෙනු ඇතැයි සඳහන් වෙයි.

ෆේස්බුක් සමාගමට එරෙහි අලුත්ම චෝදනාව පසුගිය බදාදා එල්ල වූ අතර, එහිදී ඔවුන් සිය ප්‍රතිවාදීන් මුදලට ලබා ගැනීම සම්බන්ධයෙන් චූදිතයන් බවට පත් කර තිබුණි. ඒ අනුව 2012 වසරේදී ඔවුන් ඡායාරූප හුවමාරු ඉන්ස්ටග්‍රෑම් යෙදවුම ඩොලර් බිලියන 1කටත්, 2014 වසරේදී පණිවුඩ හුවමාරු වට්ස්ඇප් යෙදවුම ඩොලර් බිලියන 19කටත් මිලදී ගැනීම උදාහරණ වී තිබේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ෆේස්බුක් සමාගමේ නීතීඥවරිය වන ජෙනිෆර් නිව්ස්ටෙඩ්, වට්ස්ඇප් සහ ඉන්ටග්‍රෑම් තුළ ෆේස්බුක් සමාගම ඩොලර් බිලියන ගණනින් ආයෝජනය කිරීමෙන් අනතුරුව ඒවා දියුණු තත්ත්වයට පත් වූ බව පවසා සිටින්නීය. ඒ අනුව ඇමෙරිකානු රජය එරට ව්‍යාපාර වෙත තර්ජනය කරමින් සිටින බවත්, මෙවැනි ආකාරයෙන් ව්‍යාපාර අලෙවි කිරීම් වැළැක්වීමේ උත්සාහයක නිරතව සිටින බවත් ඇය පවසයි.

මේ අතර පසුගියදා සිය සමාගමේ සේවකයන් අමතා ඇති ෆේස්බුක් ඉන්කෝපරේෂන් සමාගමේ ප්‍රධානී මාර්ක් සකර්බර්ග්, සිය සමාගම බෙදීම සඳහා සිදුකරන උත්සාහයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් පවසා තිබේ.

Views: 252