කලාපීය වැවිලි සමාගම් මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන පහසුකම් පුළුල් කිරීමට පියවර ගනී

සිය කලාපීය වැවිලි සමාගම් (RPC) 21ට අයත් වතුවලට මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන (Child Development Centers) 35ක් පිහිටු වීම සඳහා ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය (PA) ප‍්‍රතිඥාවක් ලබා දී ඇතැයි පවසයි. මෙම මධ්‍යස්ථාන 35 ද සමඟින් දැනට කලාපීය වැවිලි සමාගම්වල පවතින සමස්ත ළමා සංවර්ධන මධ්‍යස්ථාන සංඛ්‍යාව 258ක් දක්වා ඉහළ යාමට නියමිතව තිබේ.

කලාපීය වැවිලි සමාගම්, වැවිලි වෘත්තීය සමිති සහ ශ‍්‍රී ලංකා රජය යන අංශ තුන එක්ව සැදුම්ලත් වැවිලි මානව සංවර්ධන භාරයේ (PHDT) මෙහෙයවීම යටතේ මෙම මධ්‍යස්ථානවල ඉදිකිරීම් කටයුතු සිදු කරනු ඇත.

වතුකරයේ මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන පිහිටුවීම 2015 දී පමණ ආරම්භ වුවද මේ වන විට එවැනි මධ්‍යස්ථාන 223ක ළමුන් 30,000කට වැඩි සංඛ්‍යාවක් මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ඩිප්ලෝමා සහතිකලත් සුදුසුකම් සහිත ගුරුවන්ගේ රැකවරණය යටතේ සිටිති.

මේ පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපති භාතිය බුළුමුල්ල මහතා ‘‘අපගේ දැක්ම වන්නේ සෑම දරුවෙකුටම සැලකීමට වගබලා ගැනීමයි. අපගේ වතුවල සිටින දරු දැරියන්ගේ මුල් ළමාවිය සංවර්ධනය උදෙසා අප සිදු කරන ලද අයෝජන ඔවුන්ගේ දෙමාපියන්ට නොතිබූ අවස්ථාවන් කරා ඔවුන්ව රැගෙන යාමට මනස සකස් කර දේවි.’’ යනුවෙන් පැවසීය.

‘‘අපගේ නිලධාරීන්ගේ නොමසුරු උත්සාහය හා කැපවීම තුළින් ළමා සංවර්ධන මධ්‍යස්ථානවල වැඩ කටයුතු ඉතා හොඳින් සිදු වෙනවා. කලාපීය වැවිලි සමාගම් විසින් සිදු කරනු ලබන අයෝජන වලින් අපගේ වතුවල ළමා සංවර්ධනය හා රැකවරණය කොතරම් දියුණුවක් ලබා තිබෙනවා ද යන්න මෙයට කදිම සාක්ෂියක්. අපගේ තරුණ පරපුරේ සුභ සිද්ධිය උදෙසා අප අඛණ්ඩව කටයුතු කරනවා. අපගේ දරුවන් වෙනුවෙන් ආයෝජනය කිරීම යනු අපගේ අනාගතය වෙනුවෙන් ආයෝජන කිරීමයි.’’ යනුවෙන් බුළුමුල්ල මහතා වැඩිදුරත් අවධාරණය කර සිටියි.

ඔහු වැඩිදුරටත් පැවසුවේ ‘‘දක්ෂ හා සුදුසුකම්ලත් නිලධාරීන් මෙම ළමා සංවර්ධන මධ්‍යස්ථානවල කටයුතු මෙහෙය වන අතර වැවිලි මානව සංවර්ධන භාරය පවසන්නේ මෙම නිලධාරීන්ගෙන් 365 දෙනෙකු පමණ ඔවුන්ගේ රැකවරණය යටතේ සිටින තරුණ තරුණියන් සමාජීය හා අධ්‍යාපනික වශයෙන් හරියාකාරව සංවර්ධනය වනවා ද යන්න සහතික කිරීම සඳහා ළමා සංවර්ධනය තක්සේරු කිරීම් පිළිබඳව නිසි පුහුණුවක් ද ලබා ඇති බවයි.’’

ඩිප්ලෝමා පුහුණු පාඨමාලා පැවැත්වීමට සහ ළමා සංවර්ධනය පිළිබඳ ජාතික ඩිප්ලෝමා පාඨමාලා ප‍්‍රදානය කිරීම සඳහා වැවිලි මානව සංවර්ධන භාරය ලියාපදිංචි වී ඇති අතර 2019 දී නිලධාරීන් 672ක් මෙම පාඨමාලාව සාර්ථකව නිම කරනු ලැබීය.

මීට අමතරව තමන්ගේ දරුවාගේ හැඟීම්, සමාජීය හා කායික සංවර්ධනය පිළිබඳ දැනුවත් කිරීම සඳහා දෙමාපියන්ගේ කාර්යභාරය හඳුනා ගැනීමට මෙම මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන මගින් අවස්ථාව ලබා දෙයි. වතු කම්කරුවන්ගේ දරුවන් වැඩිදුරටත් ආරක්ෂා කිරීමේ අරමුණින් කලාපීය වැවිලි සමාගම්, වැවිලි මානව සංවර්ධන භාරය හරහා දෙමාපිය දැනුවත් කිරීමේ වැඩසටහන් ද ක‍්‍රියාත්මක කර තිබේ. බුද්ධිය හා නිපුණතා සංවර්ධනය සහ ගෘහස්ථ හිංසනය පිටු දැකීම ඇතුළුව කරුණු පහක් ආවරණය කරමින් පවත්වන දැනුවත් කිරීමේ වැඩසටහන්වලින් මේ දක්වා 57,000කට වැඩි දෙමාපියන් සංඛ්‍යාවක් ප‍්‍රතිලාභ ලබා ඇත.

පුද්ගලීකරණයෙන් අනතුරුව 1995 දී කලාපීය වැවිලි සමාගම්හි හිමිකාරීත්වය යටතේ එම වතුයායන්හි ක‍්‍රියාත්මක වන ළමා සංවර්ධන ව්‍යාපෘතිවල විශාල දියුණුවක් ලබා ඇති බව පෙනීයයි. අතීතයේදී වතු සේවිකාවන්ගේ දරුවන් රැකබලා ගැනීම සඳහා ගොඩනැංවුනු ‘පිල්ලෙයිමඩු’ වෙනුවට කලාපීය වැවිලි සමාගම් මගින් පාලනය කරන වතුයායන්හි ඇරඹි දිවා සුරැකුම් මධ්‍යස්ථාන මේවන විට වැවිලි මානව සංවර්ධන භාරය, වතු සමාගම්වල සහාය ඇතිව සියලූ අංගෝපාංගයන්ගෙන් සමන්විත පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන බවට පත් ව ඇත.

වතුකරයේ දරුවන්ගේ ජීවිත නගා සිටුවීමේ අරමුණ සහිතව ළමා සංවර්ධන මධ්‍යස්ථාන ඉදිකිරීම සහ අලූත්වැඩියා කිරීමේ කටයුතු කඩිනමින් සිදුවෙමින් පවතී. 2015 දී හඳුන්වා දුන් මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන ඉදිකිරීමේ ව්‍යාපෘතියේ කොටසක් ලෙස කලාපීය වැවිලි සමාගම්වල ආයෝජනය හා දැඩි උත්සාහය හමුවේ මධ්‍යස්ථාන 65ක් අලූතින් ඉදි කර ඇති අතර මධ්‍යස්ථාන 158ක් අලූත්වැඩියා කර ඇත. වතුකරය පුරා දළ වශයෙන් ළමුන් 30,000ක් පමණ මෙම ව්‍යාපෘතියෙන් ප‍්‍රතිලාභ ලබා ගැනීම සඳහා ලියාපදිංචි කර ඇත.

Visits: 105