මෙල්ස්ටාකෝර්ප් සහ හේමාස් හෝල්ඩිංග්ස් නිසා ASPI ඉහළ යයි

අද දිනයේදී (දෙසැ 11) කොළඹ කොටස් හුවමාරුව අතරතුරදී පිරාමාල් ග්ලාස් සමාගම නිවේදනය කළ අත්පත් කරගැනීමේ එකඟතාවත් සමගින්ම එම සමාගමේ කොටස් මිලදී ගැනීම සඳහා වන ඉහළ පෙළඹීමක් වෙළෙඳ පොළ තුළ දැකගත  හැකි වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එසේම දිනය තුළදී මෙල්ස්ටාකෝර්ප් සහ හේමාස් හෝල්ඩිංග්ස් යන සමාගම් වෙත පැවැති ආයෝජක විශ්වාසය මෙන්ම නැවුම් මිලදී ගැනීමේ උනන්දුව නිසා දිනය අවසානයේදී සමස්ත කොටස් මිල දර්ශකය පමණක් ඊයේ දිනයට සාපේක්ෂව ඉහළ ගිය බවද එම සමාගම් සඳහන් කරයි.

ඒ අනුව මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේදී ඒකක 6,580.52ත් ඒකක 6,624.23ත් අතර අගයක විචලනයක් පෙන්වීය. එහිදී දිනය නිමා වනවිට එය ඒකක 6,614.56 ක් බවට පත්විය. ඊයේ (දෙසැම්බර් 10) දිනයට සාපේක්ෂව එය ඒකක 5.17 ක් එනම් +0.08%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත. එසේම වසරේ මේ දක්වා කාලය තුළදී සමස්ත කොටස් මිල දර්ශකයේ ඉහළ යාම 7.9%ක් ලෙසත් සටහන්ව ඇත.

මෙහිදී පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව ‍ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සිදු කළ ගනුදෙනු දිනයේ පිරිවැටුම සඳහා 2%ක දායකත්වයක් ලබා දී තිබේ.

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 74ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 104ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී MELS (+13.6), හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී HHL (+3.68),  ඊබීක්‍රීසි ඇන්ඩ් කම්පැනි පීඑල්සී EBCR (+2.86),  ඉන්දු මැලේ පීඑල්සී INDO (+2.12),  සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී CTC (+1.84),  එල්ඕඑල්සී පීඑල්සී LOLC (-4.13),  බ්‍රවුන්ස්  ඉන්වෙස්ට්මන්ට්ස් බැංකුව BIL (-3.29), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (-3.02), සම්පත් බැංකුව පීඑල්සී SAMP (-2.01), ලයන් බෘවරි සිලෝන් පීඑල්සී LION (-1.81)

එහෙත් ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,627.81 ක අගයක් ගත් අතර, එය ඊයේ (දෙසැම්බර් 10) දිනයට සාපේක්ෂව ඒකක 0.68 ක එනම් -0.03%ක පහළ යාමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.93ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (දෙසැ 10දා) වාර්තා කළ රුපියල් බිලියන 3.88ට සාපේක්ෂව 25% ක පහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.89ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 1.38%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 84.36ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 184.07 ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 99.72කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 49.87ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය හැටන් නැෂනල් බැංකුව විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 13.52කි. එසේම ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සි විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 74.04ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් බිලියන 1.25ක් සඳහා නිෂ්පාදන අමුද්‍රව්‍ය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 43% ක අගයක් ගෙන තිබේ. ආහාර, පානවර්ග සහ දුම්කොළ සහ ප්‍රාග්ධන භාණ්ඩ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල්  මිලියන 737ක සහ රුපියල් මිලියන 451ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 228