ශ්‍රී ලංකාවේ බෝ නොවන රෝගවලට නිසිකලට ප්‍රතිකාර ලබාදීම සහතික කිරීමට SLCPI පියවර ගනී

ලෝක දියවැඩියා දිනයට සමගාමීව මෙරට බෝ නොවන රෝග (NCDs) පැතිරීම පාලනය කිරීමේ ප‍්‍රයත්නයන්ට තම සංගමය පූර්ණ සහයෝගය ලබා දෙන බව ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංසදය (SLCPI) නිවේදනය කර සිටී.

බෝ නොවන රෝග සඳහා ඖෂධ සැපයීම අඛණ්ඩව සිදු කරන බව නැවත අවධාරණය කරන සංගමය සිය සාමාජිකයින් ද රටේ ඉහළ යන දියවැඩියා රෝගීන්ගේ අනුපාතය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමට අවධානය යොමු කරන ලෙස සියලූ ශ්‍රී ලාංකිකයින් දැනුවත් කළේය.

මෑත කාලය වන විට දියවැඩියාව ශ්‍රී ලංකාවේ සාමාන්‍ය රෝගී තත්වයක් බවට පත් විය. ලෝක බැංකුවට අනුව (2019) සියලූම ශ්‍රී ලාංකිකයින්ගෙන් 11% ආසන්න සංඛ්‍යාවක් දියවැඩියා රෝගයෙන් පෙළෙන බවට අනාවරණය වී ඇති අතර ගෝලීය වශයෙන් මෙම සෞඛ්‍ය තත්වය ඉහළ යෑමේ ප‍්‍රවණතාවක් ද දක්නට ඇත.

මේ අනුව දියවැඩියාව පාලනය කිරීමට අවශ්‍ය උපාය මාර්ග හඳුනා ගැනීමට සහ මෙවැනි බෝ නොවන රෝගවලට ප‍්‍රතිකාර කිරීම සඳහා පහසුකම් සැලසීමට මෙරට සෞඛ්‍ය පද්ධතීන් තවදුරටත් ශක්තිමත් කිරීමටත් ලෝක දියවැඩියා දිනය කදිම අවස්ථාවක් සපයා දෙයි.

පළමු ලොක්ඩවුන් කිරීමෙන් උගත් පාඩම්; සුව කිරීමට පෙර වළක්වා ගැනීම

SLCPI සභාපතිනි කස්තුරි චෙල්ලරාජා මහත්මිය මේ වසර මුලදී සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමේදී පළමු ලොක්ඩවුන් කාලය පරිච්ඡේදය තුළ ලබා ගත් අත්දැකීම් පෙන්වා දෙයි. බෝ නොවන රෝග පිළිබඳව කතා කිරීමේදී දියවැඩියාව යනු එහි සැලකිය යුතු කොටසක් නියෝජනය කරන බවත් එම තත්වය ශ්‍රී ලංකාව තුළ ඉහළ යෑමේ ප‍්‍රවණතාවක් තමා නිරීක්ෂණය කළ බවත් ඇය පවසා සිටියි.

 ‘‘ශ්‍රී ලංකාවේ බෝ නොවන රෝග ඇති වීම වළක්වා ගැනීමටත් ඒවාට ප‍්‍රතිකාර කිරීමටත් අපට රජයට සහාය වීමට අවශ්‍යයි. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතියේ ප‍්‍රධාන අංශයක් ලෙස සලකා අපගේ ජනතාව අතර හොඳ සෞඛ්‍ය පුරුදු හා ආචාරධර්ම ප‍්‍රවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතුයි” යනුවෙන් සඳහන් කරන චෙල්ලරාජා මහත්මිය දියවැඩියා රෝගයෙන් පෙළෙන්නන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන විට ඔවුන් දෛනිකව ප‍්‍රතිකාර සඳහා යොමු වීම ද ඉහල යන බව පෙන්වා දෙයි.

මෙම රෝගයේ ඇති බරපතල බව හා එය පැතිරීම පාලනය කිරීම සඳහා ‘සුව කිරීමට පෙර වළක්වා ගැනීම’ යන ක‍්‍රමවේදය අනුගමනය කළ යුතු බව ඇය විශේෂයෙන් සඳහන් කරයි. බෝ නොවන රෝගයක් ඇති වීමේ අවදානම පාලනය කිරීම සඳහා දිනපතා ව්‍යායාම කිරීම හා පෝෂ්‍යදායී ආහාර රටා (උදා: කැලරි ප‍්‍රමාණය අඩු ආහාර) වැනි සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට යොමු වීම අන්තර්ජාතික දියවැඩියා සංගමය නිර්දේශ කරයි.

එවැනි ජීවන රටාවකට යොමු වන පුද්ගලයෙකුට ගෝලීය වශයෙන් වාර්තා වන දියවැඩියා රෝගවලින් 90%කට ආසන්න සංඛ්‍යාවකට ඇති දෙවන වර්ගයේ දියවැඩියාව (Type 2 diabetes) ඇති වීමේ අවදානම සැලකිය යුතු ලෙස අඩු කරන බව අධ්‍යයනයකින් සනාථ කර ඇත (IDF, 2020).

දියවැඩියාවට අදාල ඖෂධ අඛණ්ඩව සැපයීම

විශේෂයෙන් මෙවැනි කොවිඞ් වසංගත තත්වයකදී ඔරොත්තු දිය හැකි සෞඛ්‍ය පද්ධතියක් හා බාධාවකින් තොර ඖෂධ බෙදා හැරීමේ ක‍්‍රම වේදයක් සමඟ එක්ව සෞඛ්‍ය ප‍්‍රවර්ධනය හා රෝගය වළක්වා ගැනීම සඳහා කටයුතු කළ යුතු බව SLCPI සාමාජිකයින් අවධාරණය කර සිටී. කොවිඞ්-19 හේතුවෙන් භාණ්ඩ ප‍්‍රවාහනය සහ සැලසුම්කරණයට ඇති වී තිබෙන බාධා මධ්‍යයේ වුවද ඖෂධ සැපයුම් ජාල බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වා ගෙන යන බවට SLCPI සාමාජිකයින් සහතික වී ඇත.

“ඒ අනුව ප‍්‍රතිව්‍යුහගත කළ සැපයුම් ජාල ක‍්‍රියාවලියේදී ප‍්‍රමුඛතාවය දෙනු ලැබුවේ බෝ නොවන රෝගවලින් පෙළෙන රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමට සහ රෝගය පාලනය කිරීම සඳහාය. බෝ නොවන රෝගවලින් පෙළෙන රෝගීන්ගේ අවශ්‍යතාවන්ට ප‍්‍රමුඛතාවය ලබා දෙමින් දෙවන වර්ගයේ දියවැඩියා ප‍්‍රතිකාර සඳහා ලබා දෙන මෙට්ෆෝමින් (metformin) ඇතුළු රුධිරගත සීනි ප‍්‍රමාණය පාලනය කරනු ලබන අත්‍යාවශ්‍ය දියවැඩියා ඖෂධ මෙරටට ආනයනය කිරීම සඳහා විදේශයන්හි සිටින ප‍්‍රධාන ඖෂධ සමාගම් සමඟ මෙරට ඖෂධ සමාගම් අඛණ්ඩව සන්නිවේදනය කිරීම සහතික කරනු ලැබුවා.“ SLCPI පවසයි.

SLCPI සාමාජිකයින්ට අනුව ඔවුන් සතු ගබඩාවල කිසිදු ඖෂධ හිඟයක් ඇතිවීම වළක්වා ගැනීම පිණිස හැකි ඉක්මනින් ඉන්සියුලින් ඇණවුම් කරනු ලැබීය. ඒමෙන්ම ඉන්සියුලින් තොග ඇති ළඟම ෆාමසිය පිළිබඳ තොරතුරු පාරිභෝගිකයින්ට පහසුවෙන් දැන ගැනීමට හැකි වන පරිදි සංගමය ‘ඉන්සියුලින් උපකාරක සේවාව’ ක්ද ආරම්භ කෙරිණි.

තවද දියවැඩියා සහ බෝ නොවන රෝගීන්ගේ අත්‍යාවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය ඔවුන්ගේ නිවසටම ගෙන්වා ගැනීමට හැකි වන පරිදි මාර්ගගත ඖෂධසැල් (online pharmacies) හා නිවෙසටම බෙදා හැරීම වැනි ක‍්‍රමවේ ද සංගමය විසින් හඳුන්වා දෙනු ලැබීය. මීට පෙර සිට මෙම රෝගී තත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයින්ට කොවිඞ්-19 වෛරසය වඩාත් අවදානම් විය හැකි බව වටහා ගත යුතු අතර මාර්ගගතව ඖෂධ බෙදා හැරීමේ පහසුකම මගින් මෙම අවදානම අවම කර ගත හැකිය.

නැවත වරක් කොවිඞ්-19 ආසාදිතයින් ඉහළ යාමත් සමඟ SLCPI සහ එහි සාමාජිකත්වය දියවැඩියා රෝගීන් සඳහා බාධාවකින් තොරව ඖෂධ සැපයීම සහතික කිරීම සඳහා වූ ඔවුන්ගේ කැපවීම නැවතත් අවධාරණය කර සිටී. ‘‘සංගමය සහ එහි සාමාජිකත්වය අඛණ්ඩව සැපයුම් ජාල ක‍්‍රියාවලියේදී බෝ නොවන රෝග සඳහා ප‍්‍රමුඛත්වයෙහි ලා කටයුතු කරාවි. ශ්‍රී ලංකාව තුළ දියවැඩියා රෝගයට නිසිකලට ප‍්‍රතිකාර ලබා ගැනීම සහතික කිරීම ඉතා වැදගත්ය.’’ යනුවෙන් චෙල්ලරාජා මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

Visits: 87