මෙගාවොට් 103.5 ක ‘තම්බපවනී’ සුළං විදුලි බලාගාර උද්‍යානය විවෘත වෙයි

මෙරට ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 103.5 ක ධාරිතාවක් එක් කෙරෙන මන්නාරම තම්බපවනී ශ්‍රී ලංකාවේ පළමු සුළං විදුලි බලාගාර උද්‍යානය ඊයේ (දෙසැම්බර් 08) අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත කෙරිණි.

මන්නාරම සිට නඩුකුඩා දක්වා කිලෝමීටර් 30ක් අධි බලැති විදුලියෙන් සම්බන්ධ කෙරෙන සම්ප්‍රේෂණ පද්ධතියකින් මෙම විදුලි බලාගාරය සමන්විත වෙයි. එය හරහා නඩුකුඩා සිට අනුරාධපුරය දක්වා උතුරු හා නැගෙනහිර පළාත් ඇතුළුව සමස්ත විදුලිබල පද්ධතියට මෙගාවොට් 103.5 ක ධාරිතාවක් එක් කිරීමට නියමිතව ඇත.

මන්නාරම වෙරළ තීරයේ කිලෝ මීටර් 13 දුරට, හෙක්ටර්යාර් 150 ක භූමියක මෙම බලාගාරය ස්ථාපිත කර තිබේ. වසරකට විදුලි ඒකක මිලියන 400 ක් නිෂ්පාදනය කිරීමටද මේ මඟින් අපේක්ෂිතය.

පවුල් දෙලක්ෂයකට වැඩි පිරිසකට විදුලිය සැපයෙන මෙම තම්බපවනී සුළං විදුලි බලාගාරය මෙතක් ඉදිවූ විශාලතම පුනර්ජනනීය විදුලි බලාගාරය වේ.

මෙම ව්‍යාපෘති ඉලක්කයෙන් 30%ක ධාරිතාවක් ඊයේ දිනයේ පටන්ම ජාතික විදුලි බල පද්ධතියට එක්වීම සිදුව තිබේ. ඉදිරියේදී මෙහි සියයට සියයක මුළු ධාරිතාවම විදුලිබල පද්ධතියට එක් කිරීමට කටයුතු කිරීමට නියමිතව ඇත. 

මෙම විවෘත කිරීමේ අවස්ථාවේදී අදහස් දැක්වූ අගමැතිවරයා, 2020 වසර වන විට ගල් අගුරු බලාගාර ඉදිකිරීමට මෙන්ම පුනර්ජනනීය විදුලිය ව්‍යාප්ත කිරීමට 2015 වසරේදී සැලසුම් කර තිබූ නමුත්, 2015 බලයට පත් වූ ආණ්ඩුවට ඒ සම්බන්ධ විධිමත් වැඩපිළිවෙලක් නොතිබූ බව පවසා තිබේ.

“ඒ හේතුව නිසා අපිට ඉදිරියේදී විදුලිබල හිඟයකට මුහුණ දෙන්න සිදු වෙන්න ඉඩ තියෙනවා.  එම අභියෝගයට මුහුණ දෙන්න අපි දැනටමත් විදුලිබලාගාර ඉදිකරමින් පවතිනවා.” අගමැතිවරයා සඳහන් කර ඇත.

ඒ අනුව කෙරවලපිටිය LNG බලාගාරය තුළින් මෙගාවොට් 300ක ධාරිතාවයක් ද, නොරොච්චෝලේ තවත් ගල් අගුරු බලාගාරයක් ඉදිකිරීම තුළින් මෙගාවොට් 300ක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමටද සියලු කටයුතු සූදානම් කර අවසන් බවද අගමැතිවරයා මෙහිදී පවසා තිබේ.

“අපේ අරමුණ වෙන්නේ අධික වියදමක් දැරීමට සිදුවන තාප විදුලි බලාගාර ක්‍රමයෙන් අඩු කරමින් පුනර්ජනනීය විදුලිබලය ප්‍රචලිත කිරීමයි. අපි 2013 දි තමයි පුනර්ජනනීය විදුලි බලය ප්‍රචලිත කරන්න කටයුතු කළේ. අපි එදා ඉදන් සුළං බලය වගේම සූර්ය බලය යොදගෙන විදුලි බලාගාර ඉදි කරන්න සැලසුම් සකස් කළා.”

ඒ අනුව මේ සෑම පුනර්ජනනීය බලශක්තියක්ම ඔස්සේ ජාතික විදුලිබල පද්ධතියට සියයට 80% ක විදුලි ධාරිතාවක්  එක් කර ගැනීම සිය අපේක්ෂාව බවද අගමැතිවරයා සඳහන් කළේය.

“සෞභාගයේ දැක්මට අනුව 2030 වන විට අපේ රටේ සමස්ත විදුලියෙන් සියයට 70% හෝ 80% ක් පුනර්ජනනීය බලශක්තිය මත රදා පැවතිය යුතුයි. විදුලිබල ක්ෂේත්‍රයේ සිදුවන එම දැවැන්ත පරිවර්තනයට, ශ්‍රී ලංකාවේ විශාලතම සුළං විදුලි බලාගාරය ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් බව සිහිපත් කරන්න කැමතියි!”

“මෙතෙක් පෞද්ගලික අංශයට කුඩාවට හෝ සුළං බලයෙන් විදුලිය ජනන කිරීමේ හැකියාවක්  තිබුණා. නමුත් ලංකා විදුලිබල මණ්ඩලයට ඒ හැකියාව තිබුණේ නැහැ. මොකද, මෙතෙක් සුළං විදුලි බලාගාර  තිබුණේ පෞද්ගලික අංශය සතුව. ඒ නිසා මන්නාරමේ විවෘත වන මෙම සුළං විදුලි බලාගාරය, ලංකා විදුලි බල මණ්ඩලයට අයත් පළමු සුළං විදුලි බලාගාරය ලෙස ඉතිහාසගත වෙනවා.” අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මෙම අවස්ථාව සඳහා අමාත්‍යවරුන් වන ඩලස් අලහප්පෙරුම, ඩග්ලස් දේවානන්දා, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෆාදර් මස්තාන්, යදාමිණී ගුණවර්ධන හා උතුරු පළාත් ආණ්ඩුකාරිනි පී.එස්. එම්. චාර්ල්ස්, විදුලිබල අමාත්‍යංශයේ ලේකම් වසන්තා පෙරේරා, විදුලිබල මණ්ඩලයේ සභාපති  ඉංජිනේරු විජිත හේරත් යන මහත්ම මහත්මීන් ඇතුළු රජයේ උසස් නිලධාරීන් රැසක් එක්ව තිබේ.

Visits: 116