“දූෂණය, සංවර්ධනයට ඇති විශාලතම බාධකයයි” – ජනපති

දූෂණය, සංවර්ධනයට ඇති විශාලතම බාධකය බවත්, සාමාජයීය හෝ ආර්ථික හෝ කවර ක්ෂේත්‍රයක වුවද සිදුවන දූෂණය ආයතන ඒවායේ උපරිම ශක්‍යතාව සාක්ෂාත් කර ගැනීම වළක්වාලන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

අද (දෙසැම්බර් 09) දිනට යෙදී ඇති අන්තර්ජාතික දූෂණ විරෝධී දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනපතිවරයා මේ බව සඳහන් කර සිටියි.

ඒ අනුව එහි අවසාන ඵලය රටේ වර්ධනය අඩාලවීම බවත්, අධීක්ෂණ යාන්ත්‍රණය දුබලවීමෙන් අයුතු ප්‍රයෝජන ගැනීමට ඉඩ ලැබෙන අර්බුද කාලවලදී මෙය වඩාත් ප්‍රකටව පෙනෙන බවත් ජනපතිවරයා අවධාරණය කර සිටියි.

ජනපතිවරයා නිකුත් කළ නිවේදනය මෙසේය.

“වඩාත් හොඳින් දූෂණය සමග සටන්වැදීමට රටකට හැකි වනුයේ මේ සාපරාධී චර්යාවට එරෙහිවීමට රට වැසියාට වුවමනාවක් සහ නැඹුරුවක් ඇති විටය. රටවැසියා දූෂණය නොඉවසීම එය පරාජය කිරීමට ඇති හොඳම ආයුධයයි. ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනය දූෂණයට එරෙහි සටනේ දී රටවැසියා බල ගැන්වීමට ඉහළ අවධානයක් යොමු කළේ එබැවිනි. නාස්තිය සහ දූෂණය පිටුදැකීම මගේ ආණ්ඩුවේ ප්‍රධාන වගකීමක් කොට සලකමි.

සුපැහැදිලි බහුතරයක් සහිතව මගේ ජයග්‍රහණය සහතික කිරීමෙන් ශ්‍රී ලංකාවේ ජනතාව දූෂණයෙන් තොර කාර්යක්ෂම දේශයක් ගොඩනැගීමට සිය සහය සහ අභිලාෂය පළ කළහ. රජයේ පරිපාලන යාන්ත්‍රණයේ පුළුල් සහභාගී සහ සක්‍රීය කාර්ය භාරයක් ඉටු කරන ලෙසත්, රජයේ සේවාවන් කාර්යක්ෂමව ලබා ගැනීමට ඔබට ඇති අයිතිය ගැන වඩා දැනුවත් වන ලෙසත්, කුමන ආකාරයක හෝ අල්ලස් ඉල්ලීම්වලට එරෙහිවන ලෙසත් අපේ ජනතාවට මම ආරාධනා කරමි.

රජයට ඔබ කෙරෙහි ඇති වගකීම් ගැන වඩා අවදියෙන් සිටින ලෙසත්, කුමන ආකාරයක වුවද අල්ලස් හා දූෂණ සිදුවීම් නීතිය ක්‍රියාත්මක කිරීම හෝ විමර්ශනය හෝ භාර බලධාරීන් වෙත නොපමාව වාර්තා කිරීමෙන් ඔබේ රටවැසි වගකීම ඉටුකරන ලෙසත් මම ඔබෙන් ඉල්ලා සිටිමි. ජනතාව නිවාරණ යාන්ත්‍රණය ඇතුළත සවිඥාණික කාර්යභාරයක් ඉටු කරන්නේ නම් මේ උවදුර රටෙන් මුලිනුපුටා දැමීම පහසුය.

මේ රට දූෂණ සංස්කෘතියෙන් මුදාගෙන මතු පරම්පරාවන් සඳහා යහපත් දේශයක් බවට පත් කිරීමට එක්ව වැඩ කරමු.”

ගෝඨාභය රාජපක්ෂ
2020 දෙසැම්බර් 08 වන දින

Visits: 54