කුකුළු මස් නිෂ්පාදන සමාගම් කොටස් ඉල්ලුම ඉහළ යාමත් සමග ගැනුම්බරතාව ඉහළට

අද දිනයේදී  (නොවැම්බර් 26) කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු ආරම්භයේදී යම් ධනාත්මක ලක්ෂණ පෙන්නුම් කළද යම් උදාසීන ලක්ෂණයක්ද පැවැති බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහෙත් පසුව කුකුළු මස් නිෂ්පාදන අංශයේ සමාගම් තුළ කොටස් ඉල්ලුමත් සමග වෙළෙඳ පොළ ගනුදෙනු තුළ ගැනුම්බරතාවක් පෙන්නුම් කර තිබේ. එසේම මහ බැංකුවේ අඩු පොළී අනුපාත තීරණය ඇතුළුව කොවඩි-19 වසංගතයෙන් ආර්ථිකය යථාවත් කරලීමේ තීන්දු නිසා ආයෝජකයන් අතර යම් විශ්වාසනීයත්වයක් ගොඩනැගී ඇතැයිද කොටස් තැරැව්කාර සමාගම් පවසයි.

ඒ අනුව මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේදී ඒකක 6,151.60ත් ඒකක 6,192.80ත් අතර අගයක විචලනයක් පෙන්වීය. එහිදී දිනය නිමා වනවිට එය ඒකක 6,180.86 ක් බවට පත්විය. ඊයේ (නොවැම්බර් 26) දිනයට සාපේක්ෂව එය ඒකක 32.74 ක් එනම් +0.53%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදු කළ සාකච්ඡාවකට අනුව සිදු වූ නැෂනල් ඩිවලොප්මන්ට් බැංකුවේ ගණුදෙනුව දිනයේ පිරිවැටුම සඳහා 4%ක දායකත්වයක් ලබා දී තිබේ.

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 91ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 71ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී DIST (+4.22), එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+4.03),  හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී HHL (+3.96),  ඩයලොග් ආසිආටා පීඑල්සී DIAL (+3.75),  ආසිරි හොස්පිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී ASIR (+3.39), සීටී හෝල්ඩිංග්ස් පීඑල්සී CTHR (-3.05), බුකිට් ඩරාහ් පීඑල්සී BUKI (-2.01), සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී CTC (-1.8), එයිට්කන් ස්පෙන්ස් හොටෙල්ස් පීඑල්සී AHUN (-0.54), යුනියන් බෑන්ක් ඔෆ් කලම්බු පීඑල්සී UBC (-0. 5)

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,433.63 ක අගයක් ගත් අතර, එය ඊයේ (නොවැම්බර් 26) දිනයට සාපේක්ෂව ඒකක 9.97 ක එනම් +0.41%ක ඉහළ යාමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.1ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (නොවැ 25දා) වාර්තා කළ රුපියල් බිලියන 1.98ට සාපේක්ෂව 6%ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.70ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 5.28%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 67.87ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 83.57 ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 15.70කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 48ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 22.58කි. එසේම හැටන් නැෂනල් බැංකුව විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 17.29ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 420ක් සඳහා නිෂ්පාදන අමුද්‍රව්‍ය අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 20% ක අගයක් ගෙන තිබේ. ප්‍රවාහන සහ ප්‍රාග්ධන භාණ්ඩ අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 394ක සහ රුපියල් මිලියන 386ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 325