JKH වටිනාකම් ඉහළ යාම නිසා දර්ශක අගයන් ඉහළට

අද දිනයේදී  (නොවැම්බර් 24) කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු ආරම්භයේදී යම් මන්දගාමී තත්ත්වයක් පෙන්නුම් කළ ද, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සීහි කොටස් මිල ගණන් වටිනාකම් ඉහළ යාමත් සමග ආයෝජකයන් වඩාත් ධනවාදීව ගනුදෙනු සඳහා ප්‍රවිශ්ඨවීමක් පෙන්නුම් කළ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. ඒ අනුව අද දිනයේදී දර්ශක අගයන් යම් ප්‍රමාණයකින් ඉහළ යාමක් සිදු විය. එසේම අද දිනය තුළදීත් නිෂ්පාදන අංශයේ සමාගම් කොටස් සඳහා වන ඉල්ලුම තවදුරටත් එලෙසින්ම පැවතුණි.

ඒ අනුව මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේදී ඒකක 6,076.30ත් ඒකක 6,100.41ත් අතර අගයක විචලනයක් පෙන්වීය. එහිදී දිනය නිමා වනවිට එය ඒකක 6,087.66 ක් බවට පත්විය. ඊයේ (නොවැම්බර් 24) දිනයට සාපේක්ෂව එය ඒකක 15.59 ක් එනම් +0.26%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදු කළ සාකච්ඡාවකට අනුව සිදු වූ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් ගනුදෙනුවක් දෛනික පිරිවැටුම සඳහා 3% දායකත්වයක් ලබා දී තිබේ.

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 100ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 76ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (+9.07), සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී CTC (+3.05), ඩයලොග් ආසිආටා පීඑල්සී DIAL (+1.87),  ඇම්බිඔන් කැපිටල් පීඑල්සී TAP (+1.61),  ට්‍රාන්ස් ඒෂියා හොටෙල්ස් පීඑල්සී TRAN (+1.38),  එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-4.03), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (-3.3), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (-2.93),  මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී MELS (-2.41) සහ බුකිට් ඩරාහ් පීඑල්සී BUKI (-2.25) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,399.98 ක අගයක් ගත් අතර, එය ඊයේ (නොවැම්බර් 23) දිනයට සාපේක්ෂව ඒකක 11.44 ක එනම් +0.48%ක ඉහළ යාමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.7ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (නොවැ 23දා) වාර්තා කළ රුපියල් බිලියන 1.24ට සාපේක්ෂව 38%ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම මිලදී ගන්නන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.66ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 6.90%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 172.49ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 109.68 ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 62.81කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 47.87ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය හේකාර්බ් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 21.66කි. එසේම කොමර්ෂල් බැංකුව විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 26.81ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 514ක් සඳහා නිෂ්පාදන අමුද්‍රව්‍ය අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 30% ක අගයක් ගෙන තිබේ. ප්‍රාග්ධන භාණ්ඩ සහ ප්‍රවාහන අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 496ක සහ රුපියල් මිලියන 169ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 200