නිරෝධායන ඇඳිරිය නිසා වසරේ පළමු අර්ධයේදී ලයන් බෘවරි ලාභය 32% කින් පහළට

ලයන් බෘවරි (සිලෝන්) පීඑල්සී සමාගම 2020 වසරේ සැප්තැම්බර් 30 වැනිදායින් අවසන් වූ 2020/21 මූල්‍ය වර්ෂයේ පළමු අර්ධයේදී හිමිකරගෙන තිබූ බදු පසු ලාභය රුපියල් මිලියන 1,171 ක් වූ බව පවසයි. ඒ අනුව එය ඊට පෙර වසරේ සමාගම විසින් හිමිකරගත් බදු පසු ලාභය වූ රුපියල් මිලියන 1,712 ට සාපේක්ෂව 32%ක අඩුවීමක් බව සමාගම සඳහන් කරයි.

විශේෂයෙන්ම අප්‍රේල් මාසය පුරා මෙන්ම මැයි මාසයේ වැඩි දින ගණනක් පුරා ක්‍රියාත්මක වූ නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් මෙම තත්ත්වය ඇති වූ බව සමාගම පෙන්වා දෙයි.

එසේම උත්සව සමය වූ අප්‍රේල් මාසයේ සිට මත්පැන් අලෙවි සැල් වසා තිබීම නිසා සිය සමාගමේ කාර්යසාධනය වෙත එය කැපී පෙනන ලෙස බලපෑම් එල්ල කළ බවත්, ඒ හේතුවෙන් වසරේ පළමු අර්ධයේදී සිය ආදායම් පසුගිය වසර හා සාපේක්ෂව 11%කින් පහත බැසි බවත් ලයන් බෘවරි (සිලෝන්) පීඑල්සී සමාගම පවසයි.

2020 සැප්තැම්බර් 30 වැනිදායින් අවසන් වූ 2020/21 වසරේ පළමු අර්ධයේ සමාගමේ ආදායම රුපියල් මිලියන 21,529ක්  වන අතර පෙර වසරේ එම කාලසීමාවේදී එය රුපියල් මිලියන 24,077ක් ලෙස වාර්තා වී තිබේ.

කෙසේ වෙතත් සිය පිරිවැය පාලනය සඳහා ගත් ක්‍රියාමාර්ග මෙම කාලසීමාවේදී සිය ආදායම් සහ ප්‍රතිලාභ කෙරෙහි ඇති වූ බලපෑම් යම් ප්‍රමාණයකින් අඩු කිරීමටත් හේතු වූ බව සමාගම සඳහන් කරයි.

ඒ අනුව මෙවැනි දරුණු අභියෝගාත්මක බාහිර තත්ත්වයන් යටතේ වුවද සමාගම අත්කරගත් යම් මට්ටමක ලාභදායීත්වයක් ලෙසද මෙය සැලකිය හැකි බවද ලයන් බෘවරි (සිලෝන්) පීඑල්සී වැඩිදුරටත් සඳහන් කරයි.

“ඇති වූ වසංගත තත්ත්වය මෙම පළමු අර්ධය තුළදී දේශීය වෙළෙඳ පොළෙහි ව්‍යාපාර වෙත දරුණු ලෙස බලෑම් එල්ල කළා. එහෙත් අපනයනය තුළ සැලකිය යුතු වර්ධනයක් වාර්තා කිරීමට හැකිවීම ගැන අප සෑහීමකට පත්වෙනවා. අද වනවිට ලයන් බියර් නිෂ්පාදන ලොව රටවල් 25කට අලෙවි කරනවා. ඒ වගේම වසරේ පළමු අර්ධයේදී එය 19%කින් ඉහළ ගිහින්. ඒ හරහා අපගේ ලාභය මෙම අංශය තුළින් 32%කින් වර්ධනය වී තිබෙනවා.”

සැප්තැම්බර් 30 වැනිදායින් අවසන් වූ වසරේ දෙවැනි කාර්තුවේදී සමාගම රුපියල් මිලියන 1,093 ක බදු පසු ලාභයක් හිමි කරගැනීමට සමත්ව ඇත. එය පසුගිය වසරේ එම කාර්තුවේදී සමාගම හිමි කරගත් රුපියල් මිලියන 929 ක බදු පසු ලාභය හා සාපේක්ෂව 18%ක වර්ධනයකි.

මේ අතර මැයි මාසයෙන් පසුව මාස හතහරහමාරක කාලයක් වඩාත් සංසුන්ව පැවතී මේ  වනවිට යළිත් වටයකට රට තුළ කොවිඩ්-19 බලපෑමක් එල්ලවී ඇති බවත්, විශේෂයෙන්ම කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වෙත පවතින එම තත්ත්වය කැපී පෙනෙන බවත් සමාගම පවසයි.

ඒ අනුව මේ තත්ත්වය හරහා සිය සමාගමේ ව්‍යාපාර ප්‍රතිඵල වෙත අවිවාදයෙන්ම දරුණු බලපෑමක් එල්ල කරනු ඇති බවත්, මෙම නිරෝධායන ඇඳිරි නීතිය පැනවෙන කාලසීමාව අනුව එය තීරණය වන බවත් සමාගම සඳහන් කරයි.

ලයන් බෘවරි (සිලෝන්) පීඑල්සී සමාගමේ කොටස් 41,798,788ක් එනම් 52.25%ක කොටස් ප්‍රතිශතයක් සිලෝන් බෙවරේජ් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම වෙත අයත් වෙයි. එසේම කාර්ල්ස්බර්ග් බෘවරි මැලේසියා බර්හාඩ් සමාගම වෙත එහි කොටස් 20,000,686ක් හිමි ය. එය ප්‍රතිශතයක් ලෙස 25.0% කි. මීට අමතරව කාර්සන් කුම්බර්බැච් පීඑල්සී සමාගම වෙත කොටස් 5,509,853 ක් හිමිව තිබේ. එය ප්‍රතිශතයක් ලෙස 6.88% කි. බුකිට් ඩරාහ් පීඑල්සී සමාගමටත් එහි කොටස් 1,300,000ක් හිමි අතර එහි ප්‍රතිශතය 1.63% කි.

Visits: 224