ලංකා බැංකුවෙන් රුපියල් බිලියන 10ක ප්‍රාග්ධන බැඳුම්කර නිකුතුවක්

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත රාජ්‍ය බැංකුවක් වන ලංකා බැංකුව මගින් රුපියල් බිලියන 10ක් වටිනා බාසෙල් III සම්මුතියට අනුකූල, වර්ග කෙරුණු, ලැයිස්තුගත නොවූ, නොසුරැකුණු, ප්‍රධාන නොවන, කල්පිරීමේ දිනයක් නොමැති, Additional Tier 1 (AT1) ප්‍රාග්ධන බැදුම්කර නිකුතුවක් සඳහා සූදානමින් සිටින බව  පවසයි.

මෙහිදී ලැයිස්තුගත නොවන බැඳුම්කර වීම හේතුවෙන් මෙම නිකුතුව කොළඹ කොටස් හුවමාරුවේ හෝ වෙනත් කිසිදු හුවමාරුවක  ලැයිස්ගුත නොකරන බව බැංකුව පවසයි. එසේම මෙම යෝජිත බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය ලැබීමට නියමිතව ඇති  බවත් ලංකා බැංකුව සඳහන් කරයි.

මෙහිදී මූලික නිකුතුව ලෙස රුපියල් මිලියන 30ක බැඳුම්කර ඉහත කළ සඳහන් කළ බාසෙල් III සම්මුතියට අනුකූල, වර්ග කෙරුණු, ලැයිස්තුගත නොවූ, නොසුරැකුණු, ප්‍රධාන නොවන, කල්පිරීමේ දිනයක් නොමැති, Additional Tier 1 (AT1) ප්‍රාග්ධන බැදුම්කර නිකුතුවක් ලෙස ඉදිරිපත් කරන බවත්, එහි අධි ඉල්ලුමක් පැවතුනහොත් තවත් අමතරව රුපියල් මිලියන 70ක එවැනිම ආකාරයේ බැඳුම්කර ලෙස නිකුත් කිරීමට කටයුතු යොදන බවත් බැංකුව පවසයි.

මෙහිදී සෑම බැඳුම්කරයක්ම රුපියල් 100ක වටිනාකමක් ගන්නා අතර මුල් නිකුතුවෙන් රුපියල් බිලියන 3 ක්ද, තවදුරටත් සිදු කරන නිකුතුවෙන් තවත් රුපියල් බිලියන 7ක්ද රැස් කරගැනීම බැංකුවේ අරමුණ වී තිබේ.

මෙහිදී එම බැඳුම්කර සඳහා වන පොළී ක්‍රමය පාවෙන පොළී අනුපාතය වන අතර, සාමාන්‍ය මාස 12ක දළ භාණ්ඩාගාර බිල්පත් අනුපාතය වාර්ෂිකව +1.50% ක් සහ වාර්ෂික අවම පොළී අනුපාතිකය 9.0%ක් ලෙස පවතී. එසේම වාර්ෂිකව පොලිය ගෙවීමේ ක්‍රමය යටතේ මෙය සිදු වෙයි.

ලබන දෙසැම්බර් 01 වැනිදා මෙම නිකුතුව ආරම්භ කෙරෙන අතර එය ලබන දෙසැම්බර් 31 වැනිදා දක්වා ක්‍රියාත්මක වෙයි.

මෙහිදී අදාළ බැදුම්කර මිලදී ගැනීම සඳහා සුදුසුකම් ලත් ආයෝජකයන් වීම සඳහා සැපිරිය යුතු උපමාන කිහිපයක්ද ලංකා බැංකුව මගින් ඉදිරිපත් කර සිටියි. එහිදී එම උපමාන එකක් හෝ කිහිපයක් සම්පූර්ණ කිරීම අනිවාර්යය බවත් බැංකුව සඳහන් කරයි.

ඒ අනුව 1988 අංක 30 දරණ බැංකු පනත  යටතේ බලපත්‍ර ලාභී  වාණිජ බැංකුවක් ලෙස ලියාපදිංචි බැංකුවකට, 1988 අංක 30 දරණ බැංකු පනත යටතේ සහ 1995 අංක 33 දරන සංශෝධිත පනත  යටතේ  බලපත්‍ර ලාභී විශේෂිත බැංකුවකට, සංවර්ධන බැංකුවට, විශේෂිත ඉතිරිකිරීමේ  බැංකුවකට, නිවාස බැංකුවකට, සමූපාකාර සමාජ සංවිධාන හැර සමූපාකර බැංකු සංගම් වෙත, 1988 අංක 78 දරන මූල්‍ය සමාගම් පනත යටතේ ලියාපදිංචි මූල්‍ය සමාගමකට, 2000 අංක 56 දරන මුදල් කල්බදු පනත යටතේ ලියාපදිංචි මුදල් කල්බදු ව්‍යාපාරයක් පවත්වාගෙන යන පුද්ගලයෙකුට, තවත් සුදුසුකම් ලත් ආයෝජකයෙකු වෙත අලෙවි කිරීම සඳහා නියෝජිතයෙකු ලෙස කටයුතු කළ හැකි බලපත්‍ර ලාභී සුරැකුම්පත් ගනුදෙනුකරුවෙකු හෝ තැරැව්කරුවෙකුට, නියාමනය කෙරුණු මුදල් සමාගමකට, ලියාපදිංචි රක්ෂණ සමාගමකට, පොදු අරමුදල්, විශ්‍රාම අරමුදල්, සේවක අර්ථසාධක අරමුදල් හෝ ඒ හා සමාන වෙනත් අරමුදලක භාරකරුවෙකුට හෝ කළමනාකරුවෙක්ට, දළ වත්කම් ප්‍රමාණය රුපියල් මිලියන 500 ක් වන සමාගමකට සහ රුපියල් මිලියන 50ක් හෝ ඊට වැඩියෙන් මූලික ආයෝජනයක් සිදු කළ හැකි තනි පුද්ගලයෙකුට මෙම බැදුම්කර මිලදී ගැනීම සඳහා අවස්ථාව හිමි වෙයි.

මෙම බැදුම්කර නිකුතුව සඳහා කිසිදු භාරකරුවෙකු නොමැති බවත්,  එහෙත් මෙම බැදුම්කරවල ආයෝජකයන්ට/බැදුම්කර දරන්නන්ට බැංකුවේ මුද්‍රාව සහිතව සහ අධ්‍යක්ෂවරයෙකු සහ සාමාන්‍යාධිකාරිවරයාගේ අත්සන් සහිතව බැදුම්කර සහතිකයක් නිකුත් කරන බවත් බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

Visits: 337