මාස කිහිපයකට පසු විදේශ මිලදී ගැනීමක් වාර්තා කරයි

ඊයේ දිනයේදී  (නොවැම්බර් 19) කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු තුළදී කැපී පෙනෙන ලෙස විදේශ මිලදී ගැනීමක් දැකගත හැකි වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. ඒ අනුව රුපියල් මිලියන 30ක දළ විදෙස් ආයෝජන පැමිණීමක් ඊයේ දිනයේදී වාර්තා කර ඇත. මාස කිහිපයකට පසුව මෙවැනි අවස්ථාවක් උදාවීමත් විශේෂත්වයකි. කෙසේ වෙතත් දිනය අවසානයේදී දර්ශක අගයන් ඍණ තත්ත්වයේ පැවතුණි.

තැරැව්කාර සමාගම් පවසන ආකාරයට ආසන්න කාලසීමාවේදීම කොළඹ කොටස්  හුවමාරුව තුළදී විදේශිකයන් බහුල ලෙසම සිය කොටස් අලෙවි කිරීමක් සිදු කළ අතර, එම අලෙවි කරන කොටස් මිලදී ගනිමින් දේශීය ආයෝජකයන් වඩාත් ප්‍රබල තත්ත්වයකට පත්වී තිබේ. එහෙත් මෙලෙස විදේශිකයන් කොටස් මිලදී ගැනීමට යොමුවීම වඩාත් සාර්ථක අවස්ථාවක් බව එම සමාගම් සඳහන් කරයි.

විශේෂයෙන්ම පසුගියදා ඉදිරිපත් වූ අයවැය හරහා රජයේ මුදල් සහ බදු ප්‍රතිපත්තිය පිළිබඳව ඇති වූ විශ්වාසය මෙලෙස විදේශ මිලදී ගැනීම් ඉහළ යාමට හේතුවන්නට ඇතැයි පැවසෙයි.

ඒ අනුව මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේදී ඒකක 6,060.89ත් ඒකක 6,114.35ත් අතර අගයක විචලනයක් පෙන්වීය. එහිදී දිනය නිමා වනවිට එය ඒකක 6,060.89 ක් බවට පත්විය. පෙරේදා (නොවැම්බර් 19) දිනයට සාපේක්ෂව එය ඒකක 47.33 ක් එනම් -0.77%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

ඊයේ දිනය තුළ පිරිවැටුම සඳහා කිසිදු පෙර කළ සාකච්ඡාවකට අනුව සිදු වූ ගනුදෙනු දායක වී නොමැති අතර සාමාන්‍ය ගනුදෙනු පිරිවැටුම සඳහා දායකත්වය ලබා දී තිබේ.

එසේම ඊයේ දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 43ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 137ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී DIST (+5.27), ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී SLTL (+2.07), සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී CCS (+2.01),  හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී HHL (+1.23), ඩිල්මා සිලෝන් ටී කම්පැන් පීඑල්සී CTEA (+1.17),  සීටී හෝල්ඩිංග්ස් පීඑල්සී CTHR (-7.02), සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී CTC (-4.47), නෙස්ලේ ලංකා පීඑල්සී NEST (-4.29),  ඩයලොග් ආසිආටා පීඑල්සී DIAL (-3.75) සහ එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් EXPO (-3.59) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,387.88 ක අගයක් ගත් අතර, එය පෙරේදා (නොවැම්බර් 18) දිනයට සාපේක්ෂව ඒකක 9.38 ක එනම් -0.39%ක පහළ යාමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.4ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පෙරේදා (නොවැ 18දා) වාර්තා කළ රුපියල් බිලියන 2.45ට සාපේක්ෂව 43%ක පහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් තවදුරටත් දිනයේ වැඩිම මිලදී ගන්නන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.64ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 7.31%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 87.53ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 58.11 ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 29.41කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 47.71ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් ලංකා පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 29.41කි. එසේම සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 9.21ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 326ක් සඳහා නිෂ්පාදන අමුද්‍රව්‍ය අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 23% ක අගයක් ගෙන තිබේ. ප්‍රවාහන සහ ප්‍රාග්ධන භාණ්ඩ අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 311ක සහ රුපියල් මිලියන 308ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 198