BOI සහ චීනයේ Shandong Haohua Tire Co. Ltd අතර ටයර් කර්මාන්තශාලාවකට එකඟතාවක්

හම්බන්තොට ආයෝජන කලාපය තුළ අපනයනය සඳහා ටයර් නිෂ්පාදන කර්මාන්තශාලාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සහ චීනයේ Shandong Haohua Tire Co. Ltd සමාගම අතර එකඟතාවක් ඊයේ දිනයේදී අත්සන් තැබුණු බව එම මණ්ඩලය පවසයි.

මෙම ව්‍යාපෘතිය හරහා මෙරටට ලැබෙන ඍජු විදේශ ආයෝජනයේ වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 300 කි. හම්බන්තොට ජාත්‍යන්තර වරාය ආශ්‍රිතව පිහිටි කර්මාන්ත උද්‍යානයේ අක්කර 121ක භූමියක මෙම කර්මාන්තශාලාව පිහිටුවෙයි. ඒ අනුව මෙය එම කර්මාන්ත උද්‍යානයේ සිදුවන පළමු ඍජු විදේශ ආයෝජනයද වෙයි. වසර තුනක් තුළදී මෙම කර්මාන්තශාලාවේ නිෂ්පාදන අපනයනය ආරම්භ කිරීමට නියමිතව ඇත.

මෙහිදී අදාළ ගිවිසුම් අත්සන් කිරීම ආයෝජන මණ්ඩලය වෙනුවෙන් එහි සභාපති සුසන්ත රත්නායක සහ චීනයේ Shandong Haohua Tire Co. Ltd සමාගම වෙනුවෙන් එහි Cao Mingzhand හා හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) Xu Jiancun යන මහත්වරුන් අතර සිදුව තිබේ.

මෙහිදී Shandong Haohua Tire Co. Ltd සමාගම මගින් ට්‍රක් රථ, බස් රථ සහ කාර් රථ සඳහා අවශ්‍ය අර්ධ-ලෝහ රේඩියල් ටයර් මෙන්ම සම්පූර්ණ ලෝහ රේඩියල් ටයර් නිෂ්පාදනයට සූදානමින් සිටියි.  මේ හරහා නිපදවෙන රැකියා සංඛ්‍යාව 2,000ක් පමණ වෙයි.

ඒ අනුව මෙම ආයෝජනය හරහා දේශීය තාරුණ්‍යයට පුහුණුව සහ තාක්ෂණය හිමිවන බවත් එය රට වෙත සුවිශේෂී වාසි අත්පත් කරදෙන බවත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසයි. එසේම ශ්‍රී ලංකාව තුළ ඍජු විදේශ ආයෝජන ආකර්ෂණය සඳහා රබර් ආශ්‍රිත කර්මාන්ත ක්ෂේත්‍රය ක්‍රමෝපායික අවස්ථාවක් ලෙස හඳුනාගෙන ඇතැයිද ආයෝජන මණ්ඩලය සඳහන් කරයි.

මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය &මෙම කැපී පෙනෙන ආයෝජනය සමගින්ම රට තුළ රබර් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයේ වර්ධනයක් දැකගත හැකි වෙනු ඇති. එසේම අපනයනය වෙළෙඳ පොළ වෙත තවත් නව මාවතක් මේ හරහා නිර්මාණය කෙරෙනු ඇති.* යනුවෙන් සඳහන් කරයි.

එම මණ්ඩලය පවසන ආකාරයට අද වනවිට ශ්‍රී ලංකාව රබර් කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන අපනයනය හරහා වාර්ෂිකව රුපියල්  බිලියනයක මුදලක් උපයා ගනියි. එය වසර 2025 වන විට ඩොලර් බිලියන 2ක් දක්වා ඉහළ නංවා ගැනීම රජයේ අරමුණ වී තිබේ. ඒ අනුව මෙම කර්මාන්තශාලාව සිය මෙහෙයුම් ආරම්භ කිරීමත් සමගින්ම එම අපේක්ෂාවෙන් 30෴ක් සම්පූර්ණ වන බවද ආයෝජන මණ්ඩලය සඳහන් කර සිටියි.

Shandong Haohua Tire Co. Ltd සමාගමේ සැලසුමට අනුව මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ වාර්ෂිකව ටයර් මිලියන 9ක් නිපදවීම අරමුණ වී ඇත. කන්ටේනර් බහාලුම් 45,000 කින් මෙම නිෂ්පාදන අපනයනය  කෙරෙන බව සමාගම පවසයි. ඒ අනුව මේ සමගින්ම හම්බන්තොට වරායද වඩාත් ඵලදායී ස්ථානයක් බවට පත්වන බවත්, රටෙහි ආර්ථික ඉලක්ක සාක්ෂාත් කරගැනීම සඳහා ආදායම් උත්පාදනයට එයට හැකිවන බවත් ඔවුන් සඳහන් කරයි.

මෙම ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාව සඳහා වරාය සහ නාවික කටයුතු පිළිබඳ අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, ගුවන්සේවා සහ අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක සහ තේ සහ රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත් යන මහත්වරුන්ද සහභාගි වී තිබේ.

Visits: 211