කැලුම් විජේසූරිය හැටන් නැෂනල් බැංකුවෙන් විශ්‍රාම ගනී – එච්එන්බී ඇෂුවරන්ස් පීඑල්සීහි විකල්ප අධ්‍යක්ෂ මණ්ඩල ධුරයෙනුත් ඉවත් වෙයි

හැටන් නැෂනල් බැංකුව පීඑල්සීහි සහකාර සාමාන්‍යාධිකාරීවරයෙකු ලෙස සේවය කළ කැලුම් ලක්සිරි විජේසූරිය මහතා විශ්‍රාම ගොස් ඇතැයි එම බැංකුව පවසයි.

ඒ අනුව ඒ මහතා මෙතෙක් කලක් දැරූ එම බැංකුවට අනුබද්ධිත සමාගමක් වන එච්එන්බී ඇෂුවරන්ස් පීඑල්සී සමාගමේ සහ එම සමාගමේ පරිපාලිත සමාගමක් වන එච්එන්බී ජෙනරල් ඉන්ෂුවරන්ස් යන සමාගම්හි විකල්ප අධ්‍යක්ෂ මණ්ඩල ධූරවලින්ද ඉවත්ව ඇතැයි එම සමාගම් සඳහන් කරයි.

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සමාගමක් වන එච්එන්බී ඇෂුවරන්ස් පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන ඩිල්ෂාන් රොද්‍රිගෝ මහතා වෙනුවෙන් කැලුම් විජේසූරිය මහතා විකල්ප අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කළේය. 2019 පෙබරවාරි 11 වැනිදා ඔහු එම තනතුරට පත් කෙරිණි.

ඒ අනුව 2020 ඔක්තෝබර් 17 වැනිදා සිට මෙම ඉල්ලා අස්වීම පිළිගන්නා ලද බව එච්එන්බී ඇෂුවරන්ස් සමාගම කොළඹ කොටස්  හුවමාරුව වෙත දන්වා සිටියි. මෙම ඉවත්වීම සිදුවන අවස්ථාව වනවිට කැලුම් විජේසූරිය මහතා එම සමාගමේ කිසිදු කොටස් හිමිකාරීත්වයක් නොදැරූ බවද සමාගම පවසයි.

මෙරට දක්ෂ සහ ප්‍රවීණ රූපවාහිනි රංගන ශිල්පියෙකු, නිවේදන ශිල්පියෙකු වන කැලුම් විජේසූරිය මහතා හැටන් නැෂනල් බැංකුවේ තැන්පතු සහ ප්‍රේෂණ සහකාර සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කළේය. එසේම ඒ මහතා ප්‍රධාන සේවක අත්දැකීම් නිලධාරියා ලෙසත් කටයුතු කර තිබේ.

එච්එන්බී ඇෂුවරන්ස් පීඑල්සී සහ එච්එන්බී ජනරල් ඉන්ෂුවරන්ස් යන සමාගම්වලද විකල්ප අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කර ඇත්තේ ඒ අතරතුරදීය. කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන කැලුම් විජේසූරිය මහතා, නීතිය පිළිබඳ උපාධිධාරියෙකි.

Visits: 680