ශ්‍රී ලංකන් කෙයාර්ස් සහ ශ්‍රී ලංකන් කාර්ය මණ්ඩලය බ්‍රේල් යතුරු ලියනයක් සහ පාවහන් වව්චර්පත් පරිත්‍යාගයක

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සමාජ සත්කාරක අංශය වන ශ්‍රීලංකන් කෙයාර්ස් (SriLankan Cares)  මූලිකත්වයෙන් 2020 ලෝක ළමා දිනය සැමරීමේ විශේෂ උත්සවයක් මීගමුව ආඩිඅම්බලම මහ විද්‍යාලයේ දී පැවැත්වූ බව පවසයි.

එහි දී එම පාසලේ ඉගෙනුම ලබන දෘෂ්‍යාබාධිත දරුවෙකු වෙනුවෙන් බ්‍රේල්යතුරු ලියනයක් පරිත්‍යාග කිරීමට ශ්‍රීලංකන් කෙයාර්ස් කටයුතු කර තිබේ. තවද පාසලේ අඩු ආදායම්ලාභී දූ පුතුන් සඳහා සපත්තු වව්චර්පත් පිරිනැමීමද මෙහිදී සිදුවිය. ජාතික ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය විසින් මෙම පරිත්‍යාග සඳහා දායකත්වය ලබා දෙන ලදී.

මෙහිදී අදහස් දක්වා ඇති මීගමුව ආඩිඅම්බලම විද්‍යාලයේ විදුහල්පති ශෙරෝම් අමරසේන මහතා, දීර්ඝ කාලයක සිට ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සමාජ සත්කාරක අංශය පාසල තුළ සමාජ සත්කාරක වැඩ සටහන් රාශියක් ඉටු කර ඇති බවත් එමගින් දූ දරුවන් දහස් ගණනක් ප්‍රතිලාභ භුක්ති විඳින බවත් සඳහන් කර තිබේ. එසේම මෙම අවස්ථාවේ දී පාසලේ 12 ශ්‍රේණිය කලා අංශයේ ඉගෙනුම ලබන අයන්ත ලක්ෂාන් දෘෂ්‍යාබාධිත දරුවා වෙනුවෙන් බ්‍රේල්යතුරු ලියනයක් ලබා දීම ඉතා වටිනා ක්‍රියාවක් බවත් එම දරුවාගේ අනාගත අධ්‍යාපන කටයුතු සඳහා එය විශාල වශයෙන් උපකාරී වන බවද ඒ මහතා වැඩිදුරටත් පවසා තිබේ.

ශ්‍රීලංකන් ගුවන් සේවයේ පාරිභෝගික සේවා නිලධාරීයෙකු ලෙස සේවය කරන දෘශ්‍යාබාධිත කලීඩ් ඔස්මන් මහතා විසින් මෙම බ්‍රේල් යතුරු ලියනය පරිත්‍යාග කිරීම සිදු කරන ඇත. එහිදී තම ජීවිත අත්දැකීම් පිළිබඳ අදහස් දක්වමින් කලීඩ් ඔස්මන් මහතා සඳහන් කළේ අභියෝග ජයගැනීමට තමන් තුළ විශ්වාසය තිබේ නම් ඒ සඳහා දෑස් පෙනීම අත්‍යාවශ්‍යම නොවන බවයි. දෘෂ්‍යාබාධිත  වීමෙන් පසුව ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිඩා ඉසව් නියෝජනය කරමින් තම ජිවිතය පුරා ලබා ඇති ජයග්‍රහණ මෙනෙහි කරමින් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ දෘෂ්‍යාබාධිත වීම පිළිබඳ කිසිසේත් අධෛර්යමත් නොවිය යුතු බවත් ඒ සඳහා ශක්තිමත්ව මුහුණ දිය යුතු බවයි.

මෙහිදී පාසල වෙනුවෙන් සිදු කරන ලද ප්‍රජා සත්කාර වෙනුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සමාජ සත්කාරක අංශය වෙත විශේෂ සමරු තිලිණයක් ප්‍රදානය කිරීමද සිදුකර ඇත. මෙම අවස්ථාව සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගමේ කාර්ය මණ්ඩල සාමාජිකයන් එක්ව සිටි බවත් සමාගම පවසයි.

Visits: 47