“ශ්‍රී ලංකාව තුළ චිත්‍රපට සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න” – ලෝක බැංකු අධ්‍යක්ෂ

ඉතා දියුණු සංචාරක කර්මාන්තයක් පවතින ශ්‍රී ලංකාවට, චිත්‍රපට සංචාරක ව්‍යාපාරය හරහා සංචාරක කර්මාන්තයේ මීළග පියවර ජයගැනීමට හැකියාව ඇතැයි මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාවේ ලෝක බැංකු අධ්‍යක්ෂ ෆාරිස් හදද්-සර්වෝස් මහතා පවසයි.

පසුගියදා අරලියගහ මන්දිරයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේදී ලෝක බැංකු අධ්‍යක්ෂවරයා මේ අදහස් පළ කර තිබේ.

ඒ හරහා ලොව පුරා විනෝදාස්වාද කර්මාන්තය සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන ආකර්ශනය කර ගැනීමට හැකියාව ඇතැයිද ලෝක බැංකු අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.

හදද්-සර්වෝස් මහතා සමඟ මාලදිවයිනේ සහ ශ්‍රී ලංකාවේ ලෝක බැංකු කළමණාකරු චියෝ-කන්ඩා මහත්මිය ද මෙම අවස්ථාව සඳහා එක්ව තිබේ.

විශේෂයෙන්ම චිත්‍රපටයක හෝ රූපවාහිනී වැඩසටහනක රූගත ස්ථානයක් දැකීමට සැලැස්වීමෙන් එම ස්ථානයට පැමිණෙන සංචාරකයින්ගේ සංඛ්‍යාවට සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකි බව අධ්‍යයනවලින් හෙළි වී තිබේ. නවසීලන්තයේ පිහිටි ලෝඩ් ඔෆ් ද රින්ග්ස් සිනමා පටයේ රූගත ස්ථානය ඊට ප්‍රධානතම උදාහරණය බව මෙහිදී සාකච්ඡා වූ බව අගමැති මාධ්‍ය අංශය පවසයි.

මෙහිදී අදහස් දක්වා ඇති අගමැතිවරයා, ජනාධිපතිධූරය දැරූ කාලයේදී සිනමා සංචාරක ව්‍යාපාරය මනසේ තබා ගනිමින් රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානය තමන් ආරම්භ කළ බවත්, පසුගිය වසර කිහිපය තුළ එය නිසි ලෙස භාවිතයට නොගත් බවත් කියා තිබේ.

ශ්‍රී ලංකාවේ රූගත කරන ලද ජනප්‍රිය චිත්‍රපට උදාහරණය වන – ද බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි, ඉන්දියානා ජෝන්ස්, ද ටෙම්පල් ඔෆ් ඩූම් සහ වෝටර් (The Bridge on the River Kwai, Indiana Jones and the Temple of Doom and Water) වැනි චිත්‍රපට දර්ශන තල සඳහා විශාල ඉල්ලුමක් ඇති බව මෙහිදී දෙපිරිසේ නියෝජිතයෝ කියා සිටියේය.

චිත්‍රපට සංචාරක ව්‍යාපාරය වැඩි දියුණු කිරීමට ලෝක බැංකුව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට උනන්දුවක් දක්වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙහිදී අවධාරණය කර තිබේ.

Visits: 105