කොවිඩ්-19 නිසා Dipped Products 2020 පළමු අර්ධයේ ලාභය 545% කින් ඉහළට

ස්වාභාවික සහ කෘත්‍රිම රබර් අත්වැසුම් නිෂ්පාදනයේ නිරත මෙරට පිහිටි ලොව සුප්‍රසිද්ධ සමාගමක් වන ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් (Dipped Products) සමාගම මේ වසරේ පළමු අර්ධයේදී බදු පසු ලාභය ලෙස රුපියල් බිලියන 2.1ක් වාර්තා කිරීමට සමත්ව ඇතැයි පවසයි. ඒ අනුව 2019 වසරේ පළමු අර්ධයේදී එම සමාගම වාර්තා කළ බදු පසු ලාභය හා සාපේක්ෂව 545%ක වර්ධනයකි. විශේෂයෙන්ම පසුගිය වසර අවසානයේ සිට ලොව පුරා ව්‍යාප්තව පවතින COVID-19 වසංගත තත්ත්වය සමාගමේ මෙම සාර්ථකත්වයට හේතු වී තිබේ.

මේ අතර වසරේ මුල් අර්ධය සඳහා ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් සමාගමේ බදු පෙර ලාභය රුපියල් බිලියන 2.6ක් ලෙස සටහන්ව තිබේ. එය පෙර වසරේ එම කාලය සාපේක්ෂව 479%ක වර්ධනයකි. ඒ අනුව 2019/2020 මූල්‍ය වර්ෂයේදී සමාගම වාර්තා කිරීමට සමත් වූ බදු බෙර ලාභය වූ රුපියල් බිලියන 1.1ක ප්‍රමාණය ඉතාමත් පහසුවෙන් පසු කරයෑමට සමාගම සමත්ව සිටින බවත් සමාගමේ අලුත්ම අතරමැදි මූල්‍ය වාර්තාව සඳහන් කරයි.

එසේම මෙම කාලසීමාවේදී සමාගම ලැබූ ආදායම රුපියල් බිලියන 20.3කි. එය පසුගිය වසරේ එම කාලයේදී සමාගම හිමි කරගත් ආදායම හා සාපේක්ෂව 33%ක වර්ධනයකි. එසේම 2019/2020 මූල්‍ය වර්ෂය සඳහා සමාගම රුපියල් බිලියන 30.5ක ආදායමක් හිමි කරගැනීමට සමත්ව තිබේ.

ලොව අංක එකේ ආරක්ෂිත රබර් අත්වැසුම් නිෂ්පාදන සමාගමක් වන ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් සමාගම ලොව පුරා ගෘහ සහ කර්මාන්ත සඳහා අවශ්‍ය අත්වැසුම් ඉල්ලුමෙන් 5%ක් සැපයීමට දායකත්වය ලබා දෙයි. එහිදී ලොව පුරා වාර්තා වූ COVID-19 වසංගත තත්ත්වය සමාගමේ ගෘහ සහ වෛද්‍ය අත්වැසුම් අලෙවිය ඉහළ දැමීමට හේතු වී තිබේ.

මේ අතර 2020/2021 මූල්‍ය වර්ෂයේ ප ළමු කාර්තුව තුළදී සමාගමේ බදු පෙර ලාභය රුපියල් මිලියන 895.4ක් ලෙස 305%කින් වර්ධනය වී තිබේ. එසේම බදු පසු ලාභය රුපියල් මිලියන 720.6ක් දක්වා 643%කින් ඉහළ නැග තිබේ.

මේ තත්ත්වයත් සමගින්ම පසුගිය සැප්තැම්බර් මාසය නිමා වනවිට ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් සමාගමේ කොටසක වටිනාකම රුපියල් 224.10ක් දක්වා ඉහළ නැග තිබුනි. පසුගිය වසරේ එම කාලසීමාවේදී එහි කොටසක වටිනාකම රුපියල් 88. ක් විය. එසේම ගෙවුණු වසරක කාලය තුළදී සමාගමේ වෙළෙඳ පොළ ප්‍රාග්ධණීකරණය රුපියල් බිලියන 13.4ක් දක්වා වර්ධනය වී ඇත.

එසේම ඊයේ (නොවැම්බර් 04) දිනය වනවිට ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් සමාගමේ කොටසක වටිනාකම රුපියල් 328.50ක් ලෙස ඉහළ නැග තිබූ අතර, වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 19.6 ක් බවට පත්ව තිබුණි.

Visits: 463