ඉන්දියාවට අපනයනය කරන මෙරට නිෂ්පාදිත විදුලි උපකරණ සදහා තීරු බදු සහනයක්

ශ්‍රී ලංකාවේ නිෂ්පාදන කෙරෙන විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණ ඉන්දියාවට අපනයනය කීරිමේදී තීරු බදු රහිත ප්‍රවේශයක් ලබා දීම කෙරෙහි ශ්‍රී ලංකාවේ අවධානය යොමුව ඇතැයි විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි. ශ්‍රී  ලංකාවේ අපනයන නිෂ්පාදන අංශවල  වර්ධනයන්ට ශක්තියක් ලබා දීමේ අරමුණින් යුතුව මෙම කටයුතු ක්‍රියාත්මක වෙයි.

එහි පළමු අදියර ලෙස පසුගිය ඔක්තෝබර් 05-07 දිනවල දී පවත්වන ලද ඊ-කනෙක්ට් (e-Connect) මාර්ගගත අන්තර් ව්‍යාපාර රැස්වීමේදී ශ්‍රී ලාංකික ඉලෙක්ට්‍රොනික හා විදුලි උපකරණ නිෂ්පාදකයන්ගේ සංගමය මේ පිළිබඳව සාකච්ඡා කර තිබේ. චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් මෙම රැස්වීම සංවිධානය කර ඇත.

“ඊ-කනෙක්ට්” යනු, මෙම අභියෝගාත්මක කොවිඩ්-19 වසංගත තත්ත්වය තුළ දී ව්‍යාපාරවලට පරිණාමනය හා විකාශය වීම, අත්දැකීම් අපේක්ෂා කිරීම සහ අවස්ථා ගවේෂණය කිරීම සඳහා නිපදවන ලද මෙවලමකි.

මෙම ව්‍යාපෘතිය යටතේ, ප්‍රමුඛ පෙළේ ඉන්දියානු සමාගම් සමඟ අතථ්‍ය අන්තර් ව්‍යාපාර රැස්වීම්වලට සහභාගී වන ලෙස රටවල් 22 ක විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණ නිෂ්පාදක සමාගම්වලට ඉන්දියානු විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණ නිෂ්පාදකයන්ගේ සංගමය විසින් ආරාධනා කර තිබුණි.

මේ සඳහා ශ්‍රී ලංකාවේ සහභාගිත්වය සංවිධානය කිරීමට පෙර, ශ්‍රී ලංකාව සුවිශේෂී ලෙස ඉන්දියාවට සමීපව පිහිටීම හේතුවෙන්, අඩු ප්‍රවාහන වියදම් සහ අඩු නැව්ගත කිරීමේ කාලය නිසා ඉන්දියානු සමාගම්වලට ශ්‍රී ලංකාවේ සමාගම් සමඟ සහයෝගිතා/හවුල් ව්‍යාපාරවලට එළඹීම සඳහා පවතින විශාල ඉඩප්‍රස්ථාව පිළිබඳව ඉන්දියානු විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණ නිෂ්පාදකයන්ගේ සංගමයේ දක්ෂිණ කලාපීය කාර්යාලයේ නිලධාරීන් සමඟ පැවැති රැස්වීමේ දී ඔවුන්ට ඒත්තු ගැන්වීමට දූත මණ්ඩලයේ නිලධාරීහු සමත් ව තිබේ.

එසේම ශ්‍රී ලංකා සමාගම් විසින් නිෂ්පාදනය කර අපනයනය කරනු ලබන නිෂ්පාදන සඳහා ඉන්දියානු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම (ISFTA) යටතේ ඉන්දියාවට තීරු බදු රහිත ප්‍රවේශයක් ලබා දෙන බව ද මෙහි දී අවධාරණය කෙරී ඇත.

ශ්‍රී ලාංකික සමාගම් 7 ක් එනම්, රිචර්ඩ්සන් ප්‍රොජෙක්ට්ස් ප්‍රයිවට් ලිමිටඩ්, රෙක්සෙල් ඉලෙක්ට්‍රික් ශ්‍රී ලංකා, කැලණි කේබල්ස් පීඑල්සී, එම්පයර් ට්‍රේඩිං ඒජන්සි (ප්‍රයිවට්) ලිමිටඩ්, ජීපීවී ලංකා (ප්‍රයිවට්) ලිමිටඩ්, ඔලෙක්ස් ප්‍රොජෙක්ට්ස් ප්‍රයිවට් ලිමිටඩ් සහ ලංකා විදුලි බල මණ්ඩලය මෙම අවස්ථාව සඳහා සහභාගී වී ඇති අතර, ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ඉලෙක්ට්‍රොනික සහ විදුලි උපකරණ නිෂ්පාදක සමාගම් 29 ක් සමඟ අතථ්‍ය අන්තර් ව්‍යාපාර රැස්වීම් 66 ක් පැවැත්වීමට ඔවුන් සමත්ව තිබේ.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ ශ්‍රී ලංකා ඉලෙක්ට්‍රොනික හා විදුලි නිෂ්පාදකයින්ගේ සංගමය, ශ්‍රී ලාංකික සමාගම් සමඟ සම්බන්ධීකරණ කටයුතු සඳහා නොමසුරු සහයෝගය ලබා දී ඇත.

ශ්‍රී ලංකාව සමඟ පැවති තෙදින අථත්‍ය සැසිවාරය අවසානයේ දී ඉන්දියානු විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණ නිෂ්පාදකයන්ගේ සංගමයේ දක්ෂිණ කලාපීය කාර්යාලයේ ප්‍රධානී කේ. සීතාරාමන් මහතා අදහස් දක්වමින්, මෙම සැසිය දෙරටටම වාසි සහගත අවස්ථාවන් රැසක් ලබා දෙමින් සාර්ථක ලෙස නිමා කරන ලද බව අවධාරණය කර තිබේ.

එසේම අසල්වැසි රටවල් ලෙස ශ්‍රී ලංකාව සමඟ සමීපව කටයුතු කිරීම සඳහා ඉන්දියානු විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණ නිෂ්පාදකයන්ගේ සංගමයේ දැඩි උනන්දුවක් පවතින බව ඔහු ප්‍රකාශ කර ඇත.

Visits: 296